Pages

Sandumal

Sandumal

Thursday, April 10, 2014

•සුපෙම් හැඟුම් ඔබෙන් එපා


"සිහිනය මිය යා යුතුය මේ ලෙසින්..."






ප්‍රේමය පිළිබඳ ව විරෝධාකල්ප නිර්මාණයෙන් ද අතරින් පතර මුණ ගැසෙති. හැත්තෑව දශකයේ ගැයුණු එබඳු නිර්මාණයක් මේ මොහොතේ මට සිහිපත් වෙයි.

"මං හින්දා ඔබ නෙතඟින් කඳුළක්
හෙළන්නෙපා
මං හින්දා ඔබ හද තුළ සුසුමන්
නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවළක් සේ කිසිදා එක් නොවනා.."

(ගුණදාස කපුගේ සමඟ මාලිනි බුලත්සිංහල)

(Man Hinda Obe - Malini Bulathsinhala & Gundasa Kapuge)


එසේම ගුණදාස කපුගේ සහ නන්දා මාලිනිය ගැයූ පහත සඳහන් පදමාලාව ද එබන්දකි.

"බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑඟිලි හුයෙකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ.."

(Birinda Mage Oba - Nanda Malini & Gunadasa Kapuge)



මේ ගී දහරාව අතර, එඩ්වඩ් ජයකොඩි නන්දා මාලිනී ගැයූ 'විසඳුමක් නැත ලෝකයෙන්' නැමැති ගීත ය ද බණ්ඩාර අතාවුද ගැයූ 'කොහේ යන්නද කොහේ ඉන්නද? 'වැනි ගීත ද සදා සිහිවටන ලෙස පවතී. එසේ ම අජන්තා රණසිංහයන්ගේ පහත සඳහන් පදමාලාව ද ප්රේමය පිළිබඳ නව්‍යතම ආකල්පයකි.


"පාරමී දම් පුරමු අප දෙන්නා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගණි වී මා එකම මවු කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අප දෙන්නා.."

(Paramidam Puramu - Neela Wickramasinghe)




මේ ප්‍රේමයේ විකල්ප ගී දහරාව අතරට අසූව දශකයේ එක් වූ අපූර්ව ගීයක් ලෙසින් ප්රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර ගයන 'සුපෙම් හැඟුම්' නැමැති ගීතය එක් කළ හැකි ය.


මෙහිදී තරුණයා ගේ ප්‍රේමය ප්‍රතික්ෂේපිත ප්‍රේමයක් බවට පත් වෙයි. එහෙත් ඇය ඔහුගෙන් දුරස්වීමට උත්සාහ නොගනියි. ඈ තුළ මිතුරුදමක් ඉතිරි ව පවතී. ඒ මිතුරු බවේ නාමයෙන් ඇය ඔහුට පෙම්වතියක් නොවුණ ද මඟ පෙන්වන්නියක් බවට පත් වීමට උත්සාහ දරයි. එය ද එක්තරා උත්තම පරිත්‍යාගයකි. ඒ සඳහා මනරම් කාව්‍යෝක්තියක් රචකයා විසින් පද මාලාවට එක්කොට තිබේ. එනම් ඔහු ඈත සමුදුරේ නෞකාවක් නම් තමා පහන් ටැඹක් වන්නට සූදානම් බවයි.


"සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ.."



එහෙත් ඇගේ තීන්දුවෙන් ඔහු ගේ හිත පෑරෙයි. ඔහුට අවශ්‍යවන්නේ ඒ මිතුරු දමට එහා යන ළබැඳියාවකි. ඒ නිසා ඔහු ඔහුගේ ජීවන නෞකාව පැදවීමට ඇය පහන් ටැඹක් බවට පත්කර නොගනී. ඔහු සිත දැඩිකර ගෙන තරු එළියෙන් තම ගමන ආරම්භ කරයි. ඔහු ලද මානසික ආතතියේ බරපතළකම ඉතා මැනවින් ස්පර්ශ කිරීමට මෙහිදී රචකයා සමත් වේ.


"තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිමි
සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්.."



මෙහිදී ඔහුගේ පරාජිත බව මෙන් ම පරාජිත බව ඉදිරියේ සිත දැඩි කර ගැනීමට ගන්නා උත්සාහය ද රචකයා මනාව ප්‍රතිනිර්මාණය කරයි.


ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. ඇතැම් විට ඇයට පෙම්වතකු සිටිනවා විය හැකි ය. නොමැති නම් ඇය ආලයෙන් බැට කෑ එකියක විය යුතු ය.


එහෙත් ඇය නපුරු යුවතියක නොවේ. ඇයගේ හදවත ද ඔහු වෙනුවෙන් කම්පාවෙයි. තමා වෙනුවෙන් වැළපෙන, තම ප්‍රේමය ඉදිරියේ හඬා වැටෙන මේ පුද්ගලයා අමතක කර දැමීමට ඇය සූදානම් නැත. ඇය හුදෙකලාවට පෙම් බඳින නමුත් ඔහු ව සිහිපත් කරන්නී ය.


ළං කර නොගත්ත ද ඔහුව දුරින් හෝ දැක ගැනීම ඇගේ අභිප්‍රායයි. ඇගේ යටි සිත තුළ ඔහු කෙරෙහි ළෙන්ගතු කමක් පවතී. එහෙත් ඔහුට ළං වීමට නොහැකි, පරිසරයක් ඈ වටා නිර්මාණය වී තිබේ. එහෙත් හිරු අවරට යන සන්ධ්‍යාක තමා වෙනුවෙන් වැළපෙන මේ හුදෙකලා ආත්මය වෙනුවෙන් කඳුළක් සැලීමට ඇය අමතක නොකරයි.


"දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකි බිඳිමින වියරුවේ පාළුවෙන්
එය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසුණි යළි දකින තුරු දුරින්.."


ගීතය අවසානයේ ඉතා දැඩිව අනුකම්පාවට හසුවන්නේ මේ පරාජිත තරුණයා ය. එහෙත් ඔහුගේ පරාජිත බව ඉදිරියේ මේ තරුණිය ද්වේෂයට ලක් නොවීම විශේෂත්වයකි. එසේ ම මේ අනුභූතිය යෞවනයට පමණක් ම සීමා නොවන්නකි. ජීවිතයේ විවිධ වයස් මට්ටම්වලදී ප්‍රේමය හා බැඳුණු මෙබඳු අත්දැකීම විඳ ගැනීමට මනුෂ්‍යයාට සිදුවෙයි. ඒ නිසා ම රචකයා ගේ අනුභූතිය වැළඳ ගැනීම ඇති ඉඩ පරාසය වැඩිවෙයි.


පද රචනයට අමතර ව මෙහි ගායනය හා සංගීතය පිළිබඳ ව සඳහන් කළ යුතු යැයි මට හැඟේ. ප්‍රදීපා ගේ හඬ ශ්‍රාවකයා හඳුනාගන්නේ මුලින් ම වේදිකාවෙනි. එහෙත් ඇගේ මධුර හඬින් ඈ උපරිම ප්‍රයෝජනය ගත්තා යැයි මම නොසිතමි. මේ ගීතය පමණක් නොව 'දූවිල්ලෙන් සැදුන ලියේ', 'විනේ කටින උන්' ආදී ගීත ද ඇගේ මනරම් ගැයුම් ය.


ලක්ෂ්මන් විජේසේකරයන් සතුව ඇත්තේ කෙනෙකුට කලාතුරකින් පිහිටන විපුලම්භයට නැඹුරු වූ කටහඬකි. ඔහුගේ එක්තරා ගීයකින් මා තරුණ කළ නැළවුණෙමි. වැළපුණෙමි.


"දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිව් සිය ගව් දුර ඇදෙන ලෙසින්.."
(ලක්ෂ්මන් විජේසේකර)

ගීතය මෙතනින් download කරගන්න...
(Datha Depalana Gigirisarin - Lakshman Wijesekara)


කෙසේ වෙත් මේ පද රචනයට මේ දෙදෙනාගේ හඬ සම්මිශ්රණය අත්වැලක් වී තිබේ. රෝහණ වීරසිංහයන් වඩාත් උනන්දුවෙන් මෙහි තනු නිර්මාණය කර ඇති බවක් මට හැඟීයයි. එය ඒ තරමට ම පද මාලාව සමඟ බද්ධ වෙයි.


ශෝකය, එය අත් විඳින්නට රසයක් නොවුව ද රසිකයා ඉදිරියේ එය රසයක් බවට පත් වේ. ඒ ශෝක රසය මේ නිර්මාණය තුළ උපරිමයෙන් අන්තර්ගත ය. ඔහුගේ සිහිනය මෙන් අප කාගේ සිහින විවිධ අවස්ථාවල මිය යන්නට පුළුවන.


එසේ ම දුරින් සිට අපට එළිය දෙන අය කොපමණ සිටිත් ද? ප්‍රදීපාගාරයක ආලෝකය පෙනි පෙනී ඉවත බලාගෙන තරු එළියෙන් ජීවිත ඔරුව පැදීමට ඔහු ගන්නේ සාර්ථක උත්සාහයක් ද? ආදරය නොමැති නම් මෙසේ කෙනකුට දුරින් සිට ආලෝකය ගෙනදිය හැකි ද? මේ ගීතය ඇසෙන හැම විට ම ම සිත පැනයක් ඉතිරි වෙයි. 


මෙබඳු සුපෙම් හැඟුම් පිරි සිහිනය, මේ අයුරින් මිය යා යුතු ද?





(Supem Hengum - Pradeepa Dharmadasa & Lakshman Wijesekara)









**********************************************************************************




සිතුවිලි අමුතුම ඉසව්වකට පාවී යන වචනයෙන් විස්තර කිරීමට නොහැකි වන අතිශය හැඟීම්බර සංකල්පනා සිත්හි ජනිතවන, දහසකුත් ගී අතර තවත් නොමැකෙන රසවත්ම ගීතයක් මෙයත්.

විචාරය හැමදාම වගේ ධම්මික බංඩාර මහත්මයාගෙ. ඡායාරූපය අන්තර්ජාලයෙන්. එක්තුවෙන්න ආරාධනා කරනවා ළබැඳි මිතුරන් හැමෝටම, එන්න ගීතය හා විචාරය රසවිඳින්න. හැඟෙන දැනෙන දේ බෙදාගමු හැමෝම එක්ක.