Pages

Sandumal

Sandumal

Tuesday, November 29, 2016

•මිනුමක්


"පාච්චල් කරන්නෙපා! කරන්න බැරිනම් නවත්තල දාපන්..!"


"උඹ කොහොමද මචං උඹේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් වල රේට්ස්?"

"පැයකට එද්දාස් පන්සීයයි බං. දවසට පැය දෙකයි.."

"අම්මටසිරි..! ඒකියන්නෙ සතියට තුන්දාහයි, මාසෙට දොලොස්දාහයි එකෙක්ගෙන්?? "

"ඔව් බං.."

"යකෝ මගෙ ඉන්ඩිවිජුවල් එකේ මං එකෙක්ගෙන් මාසෙටම ගන්නෙ දෙදාස් පන්සීයයි.."

"පිස්සුද යකෝ... එහෙම අරං මේ ප්‍රොෆෙෂන් එක පාච්චල් කරන්නෙපා! කරන්න බැරිනම් නවත්තල දාපන්..!"

      -දෙබසක්-

පසුවදන ඔබට බාරකරමි.... !

Saturday, October 22, 2016

•වැහි මතක

"හුරුපුරුදු සුවඳකින් වෙලෙයි මගෙ සියොළඟම..."



වහිනවා අනෝරා වැහි..
අඳුරුලලා පාසල් බිම..
ලා අඳුරෙ ගුලිවෙලා
උස මහත ගොඩනැඟිලි..

නඟිනවිට පඩිපෙල්..
හරිම අඳුරුයි කොරිඩෝ..
සීතලයි පාලුයි..

දශකයකටත් දුර එපිට
මිහිරිතම අතීතෙක
හුරුපුරුදු සුවඳකින්
වෙලෙයි මගෙ සියොළඟම

මෙවන් වැහි කෝඩ වල
ඔබ එතැයි මඟබලා
උඩතට්ටුවට වී මං
හිටිය හරි සීතලෙන්..

පතා ඔබෙ උණහුමක්
ගෙවුනු එවන් දින දහසක්
ගෙනෙයි මතකයට මගෙ
අදත් මේ අඳුරු වැස්සේ...
දැල් හෝල් පිස හමන
කිතිකවන හීතලේ..
අඳුරු කොරිඩෝ කෙලවර හිඳිද්දී..

Wednesday, October 19, 2016

•ආයෙත් එනකල් 3

"අපෙ හුස්ම රැඳි අහස්කුස අද...  කඩා වැටිලා තරුත් එක්කම"



බිමට බර නුඹෙ නෙත් කෙවෙනි අග..
රැඳුනු බර කඳුලු බිඳු දෙක..
බලාගෙන බිම සිටිනවා දැක
හඬයි මාසිත මටත් නොදැනිම..

අපෙ හුස්ම රැඳි අහස්කුස අද..
වේදනාවක සුසුම් බරටම
කඩා වැටිලා තරුත් එක්කම
පේනවා මට දහ අටේ සිට..

යනව මම අද එනව යලි හෙට
නොවුනමුත් දුර කාලයක් එය
ගෙවෙන තත්පරත් කල්පවී ඇත
ඔබ මගෙන් හුඟ දුරක් ගෙන යන..

Tuesday, June 14, 2016

•රහසක්

"දළදා හාමුදුරුවනුත් සැතපී සිටි මොහොතක..."



නුවර වැවේ වැව රවුමේ
හඳ පායපු රෑ දවසක
ඇවිද ගියා මම
තනියම...

සීත සුළං හා මුහු උන
දිය රැළි මුමුණන රහසක්
මට ඇහුනා හීං හඬින්
ඉකි ගසමින් බිඳුනු හඬින්...

අනේ මගේ කිරි කැටියා
වංගෙඩියේ ලා කෙටුවා...
කිරිත් එක්ක ලේ මුහුවී
මගෙ ඇස් ලඟ බොඳවූවා

අනේ මගේ මද්දුමයා
අයියණ්ඩිත් අඬගහගෙන
ලේ ඉල්ලපු වඩිගයාට
හිස බිලි දුන්නා...

දළදා හාමුදුරුවනුත්
සැතපීලා උන් මොහොතක
උන් මාවත් සැඟවූවා
බෝගම්බර දිය රැළි යට...


Friday, May 27, 2016

•ආයෙත් එනකල් 2


"සීතල මකන්නට... ප්ලේන්ටියකට හැකිවේද.."




හුන්නස්ගිරියේ..
නුගේතැන්නට හැරෙන හංදියේ..
ඇටකටු පවා හිරිවට්ටන
සීතල සුළං  රැළ්..
සිහිකලා මට
ඔබේ උනුහුම..
මහමෙරකටත්
ටිකක් වැඩියෙන්...

Wednesday, May 25, 2016

•ආයෙත් එනකල්

"ආයෙත් දවසක ආපහු එනකල්... රෑ බස් එකේ දහඅටෙන් එනකොට.."




කවුලුවෙන් දුර එපිට පෙනෙන නිම්නයේ
සියදහසක් එළි අතර
පුංචි තරු ඇස් දෙකක් හැංගිලා..
ඒත් බැරි නෑ අඳුනගන්න මට
ඒ බොඳවූ තරු එළිය..
කඳුලු බිංදුවකින්..
ආයෙමත් දවසක එනකල්..
බලන් ඉන්න තරු ඇස් දෙක..
දහ අට වංගුව දිහා..


Sunday, May 15, 2016

•නෑණන්ඩී


"නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි..."






ආදරය, සෙනෙහස, ප්‍රේමය... මේ කිනම් වචනයකින් හැඳින්වුවත් මේ අතිශය සංකීර්ණ වූත්, සංවේදීවූත්, කිසිදා කිසිවෙකුට අරුත් පසිඳලීමට නොහැකිවූත් මානව බැඳීම මිනිස් සංහතිය ආරම්භවූ දා පටන් මේ දක්වා පැවත එන්නේ ඊටම ආවේණික වූ කාලෙන් කාලෙට යුගයෙන් යුගයට සංස්කෘතියෙන් සංස්කෘතියට බද්ධවූ සංඛේත ගොන්නක්ද සමඟිනි.

දසදහසක් ප්‍රේම සංඛේත අතර අතිශය සංවේදී ප්‍රේම සංඛේතයක් ඇත. අතීත සිංහල ගැමි දිවි පෙවතට බද්ද වූ, හේනට කුඹුරට, පැලට, කමතට යාවූ, ගමේ පංසල තොවිල්පල, නාඩගම් මඩුව හා මුහු වූ, නෙළුම්,කෙසෙල් කොලවල ඇඹුලේ නැවුම් රසයෙන් රසවත් වූ මේ ප්‍රේම සංඛේතය අදවන විට වියැකෙමින් පැවතුනද මෑතක් වනතුරුත් ඈත ගම් දනවු පුරා සුවඳවත් වූ මෙම සංඛේතය ගැමි යෞවන යෞවනියන්ගේ සිත් සතන් ප්‍රේමයෙන් දයාවෙන් මුසපත් කරලීමටත්, අනේක දුක් සුසුම වේදනා වැව් බැම්මක් මෙන් දරා හිඳීමටද දහසකුත් කතා පුවත් හදවත් තුල ඉතිහාසගතකිරීමටද සමත් විය.

ඉතින් මගෙ මස්සිනේ, නෑණන්ඩියේ.... මේ ඔබේ පෙම් පුවතයි..

ඉස්සර ගං තුලාවල නීතියක් නොවුන රීතියක් තිබුනා. ඒ තමයි පවුලක නෑනා ඒ පවුලෙම මස්සිනාට නිතරඟයෙන්ම උරුම වීම. ඉතින් වැලි කෙලියෙ ඉඳලම එකටම ඉන්න මේ දෙන්නා පොඩ්ඩක් දෙපැත්තට වෙන්නෙ මේ නෑනා පොඩ්ඩ ගෙට උනාම. ඒත් ඊට ටික කාලෙකට පස්සෙ මේ ඈත්වීම යළි සීග්‍ර කිට්ටුවීමක් වෙන්නෙ අර පරණ වැලි කෙළියෙ බැඳීමෙ ස්වරූපයෙන් නම් නෙවෙයි.ඔන්න ඊට පස්සෙ අර පෝයදාට අහසෙ පායපු කොස් බෑය වගේ හඳ දෙන්න දකින්නෙ ඉස්සර දැකපු විදියට නෙවෙයි. බාල සංදියේ අත්වැල් පටලගෙන හඳේ ඉන්න හාවා හොයාගෙන උගෙන් කිරිපැනි ඉල්ලපු මේ යුවල දැන් උත්සාහ ගන්නෙ හඳේ සුන්දරත්වය එකිනෙකාගෙ මුහු. අඩ සඳ පායපු දාට අපේ මස්සිනාට අඩ සඳෙන් පෙනෙන්නෙ අපේ නෑනාගෙ නලල් තලාව. ඇල් හේනෙ කරල් කපනකොට, කුරහන් යායට හඳ පායනකොට, ඉස්සර කරපු දඟකාරකම් වෙනුවට දැන් කරන්නෙ සොඳුරු පෙම් කාරකම්.. දං පඳුරු වල හැංගි හැංගි දං කඩ කඩා රණ්ඩු වෙච්ච ඇච්චො දෙන්නා දැන් නම් දං කන්නෙ එකිනෙකාට ඉඟි මර මර. පෝය දාට සුදු ඇඳගෙන පංසල් ගිහින් බෝ මළුවෙ වැලි කෙලපු පොඩි නෑනයි පොඩි මස්සිනයි දැන් පෝය දාට පංසලේ පහන් පත්තුකරල හදවතින් ප්‍රාර්ථනා කලේ එකිනෙකා ගැන..

තව කතන්දර බොහොමයි.. ඉතින් ඔන්න ඔය තාලෙට තමයි මේ ප්‍රේමය දලු දාල වැඩුනෙ. ඔන්න ඔහොම ගමන ගියේ තම තමන්ගෙ දෙමවුපියන්ට හොරෙන් උනත් ඒක රහසක්ම වෙලා තිබුනෙත් නෑ. මොකද.. මේ නෑණන්ඩි, මස්සිනා පොඩ්ඩට රීතියෙන්ම හිමිවෙලා තිබ්බ හින්ද. ඉතින් ඒ ආශිර්වාදෙත් එක්කම හත්දා මඟුල් කාලා මේ යුවල එක්තැන් වෙන්නෙ හරියට ඇටෙන් පොත්තෙන් එන්නත් කලියෙන්මයි බොහෝ විට.. ඊටපස්සෙ තමන්ගෙම පැල් කොටේක තනිවෙලා ජීවන ගමන පටන්ගන්න දෙන්නා, ඒ වගේම තවත් පරම්පරාවක උරුමය හදල දෙනවා.

ඉතින් කොහොම උනත් කොයි දේකත් දෙපැත්තක් තියෙන්නා වගේ, මේ කතාවත් ටිකක් පරස් වෙලා පීල්ලෙන් පිට පනිනා අවස්ථාත් නැතිවම නොවෙයි. සමහර මස්සිනා පොඩ්ඩවල් නෑනණ්ඩිව තනිකරල සයුරෙන් එතෙරට දුරු කතරට යනවා.. ඔය අස්සෙ සමහර නෑණන්ඩිලා ගම හැරදා සිදාදියට දීග යනවා.. ඒ විතරක්ද, දාහක් පැතුම් පුරෝගෙන එක්තැන් වෙන්න බලන් ඉඳපු නෑනා මස්සිනාලට හිටි අඩියෙ දෙමාපිය විරෝධය මතුවෙනවා. කුරහන වපුරනකොට බැඳිච්ච ආදරේ කුරහන් කපන කාලෙ වෙද්දි ගිලිහිලා අතරමංවෙලා. ඉතින් මස්සිනා තමන් හැදූ පැල් කොටේ තනිවෙලා.

සමහර නෑනා මස්සිනාලට දළදා හාමුදුරුවොත් පිටුපාල. ඒ සමහර විට අඩ සඳ පායපු ඇහැල පෝයක දළදා වැන්ද නිසාද දන්නෙ නෑ. මොකද පුන් සඳ පායපු වෙසක් පෝය තමයි වඩා පිංවන්ත අඩ සඳ පායපු ඇහැල පෝයට වඩා. එහෙම අය එන ආත්මෙකවත් නෑනන්ඩී තමන්ගෙම වෙලා උපදින්න කියල ප්‍රාර්ථනා කරල ආදරෙන් වෙන් වෙනවා, හැබැයි මේ අහිංසක හදවත් වල එකිබෙන්කා කෙරෙහි උතුරා හැලෙන ප්‍රේමය, සුබ පැතීම් හැර තරහවක්, වෛරයක්නම් ගෑවිලාවත් නෑ. ඒකයි විශේෂත්වය.

අදටත් ඈත දුර ගම් රටවල් වල දයාබර නෑනා මස්සිනාලා ආදරෙන් බැඳිලා ඇති, ආදරෙන් වෙන් වෙනවත් ඇති. නවීන ලෝකයේ නවීන තාක්ෂණයත් එක්ක සංකර වෙලා අද. එදා රීතියෙන් අයිතිවෙලා තිබුන නෑන මස්සිනාල අද රීතියෙන්ම වෙන්කරලා, එයාල අහලවත් නොතිබුන වෛවාරණ විසාදි ගැන කියලා. ඒක හරිම දුකක්, ඒත් මොනව කරන්නද. අද කුරහන් හේන් නෑ, නෑනට පාලුවෙන් අහන්න ඉන්න පැල් කවි කියන මස්සිනාල සිදාදියට ඇවිත් ගේට්ටු මුරකරනවා. මස්සිනාලට ඇඹුල අරන් ආව නෑණන්ඩිලා අද සිදාදියේ සළු වියනවා. ඉතින් මේ මස්සිනාලට සිදාදියෙන් නෑනලා හම්බෙනවා, අපේ නෑණඩිලත් සිදාදියෙන්ම අයියණ්ඩිලා හොයාගන්නවා. ඒකෙ වරදක් නෑ. ඒත් හැමදේම අනිත්‍යබව පසක් කරමින් සොඳුරු උපසංස්කෘතියක්, ප්‍රේමයේ තවත් එක් සංඛේතයක් අද කාලයේ වැලි තලාවෙන් මැකී යමින් පවතිනවා.

ඉතින් ඒ සංඛේතය අපේ හදවත්වල සලකුණක් විදියට ඉතිරිවෙද්දි ඒ මතකය පාරවන ගීත ගොන්නක් ඒ වෙනුවට අපට ඉතිරිවෙලා තියෙනවා. ඒ ගීතවලින් අපිට කලින් පරම්පරාවෙ උදවියට බොඳවෙච්ච මතකයක සොඳුරු ඡායාවන් හදවතින් නෙත් මානයට කැන්දනවා නොඅනුමානයි. මේ සටහන කියවන ඔබ කිහිප දෙනෙක් හෝ, නෑණන්ඩී-මස්සිනා යුගයට නෑකම් උරුමකම් කියවනව ඇති. ඇල් හේනක, කුරහන් යායක, ඉපනැල්ලක, ගමේ පන්සලේ හඳුන්කූරු සුවඳ දැවටිච්ච පහන් වැටක, ඇල ඉවුරක, වැව් තාවුල්ලක සොඳුරු මතක හිතෙට නැගෙනවා ඇති. ඒවගේම මේ පහල තියෙන එක ගීයක් හෝ ඔබේම ගීතය වනවා ඇත. ඉතින් අප අවධිකරමු ඒ මතකය. සියුම් රිදුම් හදවත පොපියවන සතුටක් ජනිතකරනවා සමහර වෙලාවට. ඉතින් අපි ඒ රිදුම් තව තවත් පාරවමු...




සහසක් පැතුමන් ඉපදී මියගොස්..
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන..
ඇහැල මහක අඬ සඳ පැයූ දා..
මතකද සිරි දළඳා වැන්දා...
මතකද සිරි දළඳා වැන්දා...

අතීතයක් වෙන්වන රේඛාවෙන් 
අනාගතය හිස් කරවනු ලැබුවා..//
ඔබෙ අත අන් ලදකට හිමිකරදී
මතකද මා ඉකිබිඳ හැඬුවා..
මතකද මා ඉකිබිඳ හැඬුවා..

සහසක් පැතුමන්...

අහිමිව ගිය සම්පතට වඩා
හිමිවූ දුක මිහිරී සලකන්නම්...//
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත්
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..

සහසක් පැතුමන්...

ගායනය : මල්කාන්ති නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි



පිළිතුරු ගීය...

සහසක් පැතුමන් නැත මා පැතුවේ..
එකම පැතුම පමණකි හිත රැදුනේ..
හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ..
මතකයි සිරි දළඳා වැන්දා...
මතකයි සිරි දළඳා වැන්දා...

ඇස කඳුලැලි මෙන් හිස පිණි බින්දු
පිරිසිදු නාමල දෝතෙහි රැන්දූ..//
එකම පැතුම කඳුලට හරවා
මතකයි ඔබ පාමුල වැටුනා...
මතකයි ඔබ පාමුල වැටුනා...

සහසක් පැතුමන්...

අහිමි සැපත මිහිරී සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා..//
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්...
අදට වඩා අනුකම්පාවෙන්...

සහසත් පැතුමන්...

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


*******************************************************

ගයා ගීතයන් ගමේ වෙල් එලියේ 
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...//

ගුරුතුම දවසක් මා හට තැළුවා
දැක මට මතකයි ඈ හැඩුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇඳ ලග ඈ මුළු රෑ සිටියා..

අපි දෙන්නයි එකට පාසල් ගියේ
ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ

ගයා ගීතයන් ගමේ...

නාන වෙලේ මා රැල්ලට අසුවී
යන විට ඔහු විත් ගොඩ ගත්තේ
මා බොරුවට දවසක් තරහා වී
කෑම නොකයි ඔහු සිට ඇත්තේ

අපි දෙන්නයි එකට ‍එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...

ගැයූ ගීතයන් ගමේ වෙල් එලියේ 
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
පුදුමයි යළි මේ හමුවීම අපේ

‍‍‍‍‍පදරචනය : සිසිර සේනාරත්න
සංගීතය : සිසිර සේනාරත්න
ගායනය : සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි සේනාරත්න




*************************************************************

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද 
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරයි

ගායනය : අබේවර්ධන බාලසූරිය 
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක



****************************************************

කුරහන් යායේ සඳ උතුරාගෙන..
හිතට දුකක් ගලනා වේලේ..
රෑ තුන්යාමේ ගැයෙනා මේ ගී..
ඔබට ඇසේවා සුදු නැනේ..

එදා වගේ සැදැ අඳුර වැව් බැම්මේ ගලා ඇවිත්
උණ පඳුරේ සෙවන සදනවා..
කීව කථා රහසේ යලි සිතට නැගෙනවා...

මගේ පැලේ හිනැහීගෙන සිටිනා ලෙස නුබේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා...
ඈත සිටින නුඹේ නාමෙන් දෑස තෙමෙනවා...

පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ටී.එම්. ජයරත්න



************************************************


ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ
ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ
හිත පාලුයි ගම පාලුයි නුඹ නොමැතිව නෑනෝ
කද බැඳගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ..

කන්දෙ ගෙදර මිනි පහනක් විලස දිලුනි නෑනෝ
බාල වියේ බැඳි ආලය අමතක කල නෑනෝ
දෑසෙ නැගෙන කඳුළු මකා අඳුන් උළා නෑනෝ
නැකැත් බලා අවුරුද්දට ගමට වරෙන් නෑනෝ...

සුබ නැකතින් තෙල් ගෑවා මට මතකයි නෑනෝ
එක ළඟ හිඳ හඳ බැලුවා මට මතකයි නෑනෝ
නව අවුරුදු  කුමරිය ලෙස සුබ සෙත ගෙන නෑනෝ
ලැසි ගමනින් දෙවට දිගේ ගමට වරෙන් නෑනෝ...

ගායනය  - විල්බට් ඇන්තනී
පද රචනය : තු.ව. කුසුම්පාල
සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු




*******************************************************


කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා
හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ ....

පුංචි හීනේ ගෝනි බිල්ලෝ නංඟි අල්ලන් යන්න ඒවී
මන් බය නෑ නේ අයියා මා ලඟ ඉන්නේ තුන් යම රෑ පානේ ....

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

ඉරිඟු යායෙන් කිරල ගාලෙන් කිරි වැදීලා කිරි ගොයමේ
නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ සෝහුරු පින් මහිමේ ...

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා
හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ ....

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

චංචල රේඛා (1981) චිත්‍රපටයෙන්
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි සහ නීලා වික්‍රමසිංහ



**************************************************


සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//

දුරු ඈත මරු කතරෙ ගිනි අව්වෙ දැවිලා
ගිම් නිවන හැන්දෑකරේ..
ගම්මානෙ වෙල් එළියෙ මද පවනෙ මුදු සිහිල
සිහිවේද අයියණ්ඩියේ...

සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//

ඔබ ගේන මුතු මාල පට සේල පළඳින්න
පිරියක් නැගෙයි මා හිතේ..//
මල් පිපෙන බක් මහට කැන්දාන ගෙනියන්නෙ
එනවාද අයියණ්ඩියේ..

සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//


ගායනය : ස්වර්ණලතා කවීශ්වර






*************************************

පසුව ලියමි

ඉහත දක්වා තිබෙන ගීත කිහිපය අතරට එකතු කල හැකි ඔබට මතක වෙනත් ගීත ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කර මෙම නෑණන්ඩී-මස්සිනා ගීත ගොන්න තවත් හැඩගන්වන ලෙස මම ඔබෙන් දයාබරව ඉල්ලමි. ඉහත පද වැල් වල, පද රචකයන් හා තනු නිර්මාපකයන්ගේ නම් වල කිසියම් වරදක් ඇතොත් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටින්නෙමි.

එසේනම් අවධිකරමු මතකය...



Thursday, April 28, 2016

•මිතුදම්


"නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත..."



මිතුදම...
තවත් එක් බැඳීමක්
බැඳීමට අපහසු
දරන්නට අපහසු..
නොමැත මිතුරන්
අත ඇඟිලි තරමට
නොගනිමි ලෙහෙසියෙන්
අතැඟිලි'තර තවත් අතැඟිලි..
නමුත් සමහර අතැඟිලි
හැරයයි මිතුරුදම්..
පවසා අපට ගහන්නට අත්පොඩි..
තනි අතින්....
කොන්දේසි විරහිතව
බොහෝ දේ කැපකර
හදවතින් ගොඩනැඟූ
ඒ වගේ මිතුරුදම්
අද මඟැර යන විට
හැඟේනොමැත මිතුරන්..
මේ කටුක පොළොව මත...
හුදෙකලා ලොව තුල
ගොඩනැඟූ තනිකම
සම්පතකි..
කිසිදා
නොරිදවන සිත...



Friday, April 22, 2016

•හිම දියවී හිමාලයේ

"ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..
 ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.."





කප් සුවහසක් තරම් වූ කාලයක් තිස්සේ බලා සිටි ඒ සොඳුරුතම දිනය උදාවිණි. අනන්තයක් තරම් සිහින මැවූ, කප්පරක් තරම් පැතුම් පිරූ ඒ නිමේෂය පිළිබඳ නැවුම් බීජය රෝපණය වී හරියටම දස වසරකට පසු ඉඩෝරය නිමාවී නැවුම් රිකිල්ලක් සමඟ මහා වෘක්ෂයකට ඉහ ඔසවන ඔවුන් දෙදෙනාගේ ජීවන වෘක්ෂය අද මෙසේ මහපොලොවෙන් ඉහලට එසවීමට පටන් ගෙන තිබේ.

උරුමයක් ලෙස ලක්ෂ ගනන් වස්තු නොමැති නිසාත් ජීවිතය මුල සිටම සරලව පටන්ගත යුතු නිසාත්, සරල සොඳුරු බව නිසකලංකය සියල්ලට වඩාත් අගය කල නිසාත් පවුලේ කිහිප දෙනා පමණක් එකතු වූ ඉතාම චාම් විවාහ මංගලෝත්සවයකින් නිම වූ දෙදෙනාගෙ අතිනත ගැනීම සිදුවූයේ ගමේ පංසලේ නිසල බෝ සෙවණේදීය. ඉන් අනතුරුව දෙදෙනා වඩාත් අකමැති දේ වූයේ අනෙක් සෑම දෙනාම සිදුකරන පරිදි තමන්ගේ ජීවිතයේ වටිනාම මොහොත වන මධුසමය දහස් ගණන්ක් ගෙවා කොන්ක්‍රීට් බිත්ති හතරකින් වටවූ හෝටල් කාමරයක් අඳුරු මුල්ලට වී දින දෙක තුනක් දෙන දෙයක් කා වෙන දෙයක් බලා හිඳීමයි. එනිසාම මුල සිටම සැලසුම් කල පරිදි ඔවුන් මධුසමය සඳහා ඔවුන්ටම ආවේණික වූ වෙනස්ම මාවතක් තෝරාගත්තෝය.

ඒ අනුව ඒ සඳහා තිබූ මුදල් යොදාගනිමින් ඔවුන් සැලසුම් කලේ පුංචි චාරිකාවකි. අඩුම කුඩුම ටිකත්, ඇඳුම් බෑග් දෙකත් සමඟින් ඔවුන් ඔවුන්ගේ කුඩා මෝටර් රථයෙන් මධුසමය සඳහා පිටත් වූයේ ගමනාන්තය පිළිබඳ නිශ්චිත අරමුණකින් නොවේය. ජීවිතයේ මීළ්ඟට උදාවෙන අතිශය තරඟකාරී කාර්යබහුල ජීවන රටාව තුල සිරගතවීමට පෙරාතුව පුංචි ලංකාවේ නොදුටු දසුන් සොයා යා හැකි කදිම අවස්ථාව, මොහොත මෙය බව ඔවුන් වටහාගෙන තිබුනි, පවුල් බරි, දරු මල්ලන්ගේ වගකීමෙන් තඔරව කුරුලු ජෝඩුවක් විලස සැහැල්ලුවෙන් මෙවන් ගමනක් යා හැකි අන් දිනයක් සැබැවින්ම පැවතිය නොහැක.

එම චාරිකාවේ පළමු නැවතුම් පොල ලෙස ඔවුන්ගේ පළමු මංගල රාත්‍රිය සඳහා ඔවුන් තෝරාගන්නා ලද්දේ වස්ගමු වන උයනේ සුමුදු මහවැලි ගං තීරයයි. මහවැලි නදියේ සිහිල් දියදහරින් සන්තර්පණය වී හිරු බැස ගිය අහසේ නැඟුනු සඳ කුමරිය සෙවනේ තරුමල් අහස යට නෑඹුල් යුවල එකට ගුලිවී තුරුලු වී සිටියේ සොබාදහමේත්, ආදරයේත්, ජීවිතයේත් මිහිරියාව හදපත්ලෙන්ම විඳදරාගනිමින්ය. 

ගං ඉවුරෙහි වාඩිවී දෙපා දියෙන් දොවමින් සිටියද, හිම සීතල වෙනුවට මුලු ගතම උනුහුමින් හිරිවැටී යන්නේ සොඳුරු මන්දාලෝකයක් විහිදුවමින් ඇවිලෙන් ගිනි මැලය හේතුවෙන්ද, එසේ නොමැතිනම් දෙහදක අනුරාගී උනුහුම් රුධිර ධාරාවෙන්ද යන වග තේරුම් බේරුම් කරගැනීමට එකිනෙකාගේ දෙනෙත් වෙතම යොමුවී සිටි පෙම් යුවලට අපහසුවාක් මෙනි. 

කුඩා ගල්බොරලු මතින් සිලි සිලි හඬ නගමින් කඩිමුඩියේ ගලන මහවැලි ගං කොමලිය කිරි පෙණ පිඬු නගමින් නව යුවලට සිනාසෙමින් ආසිරි පතද්දී එකිනෙකාට තව තවත් තුරුලු වූ යුවල සැඳෑ අඳුරට මුහුව දහසකුත් රහස් මුමුණන්නට විය. කෙසේ නමුදු සිහිල් සුලං, හිම සීත ජල බිඳිති පරදා සීතල ගිනියම් වෙමින් පැවතුන බව නම් දැනහුන්නේ ඔවුන්ගේම සන්තානයන් පමණි. දුහුල් සලුවෙන් ළමැද මුවාකල මුවැත්තියගේ හදවත් ජලාශයෙහි සියුම් කැලඹිලි වලින් කිතිකැවෙන පපුතුර තව තවත් නිල් දියෙහි දිය රැලි වල උනුසුමට සතපවාගත් යෞවනයා එහි පරමානන්දය විඳගනිමින් තව තවතවත් ඇයටම තුරුලුවූයේ සලුපිලි යට හිඳිමින් අවදිවී ඔහුගේ උනුහුමෙන් කුල්මත් වූ ඇගේ හදවත් නීල ජලාශයේ පිහිනූ හංස පිහාටුවල සුවයද ගතපුරා විඳගනිමිනි. අවධිවී දඟකරන හංස පැටවුන්ගේ දඟකාරකම් වලට සිත්සේ දඩුවම් දීමට ඉඩහැර ඇය දෙනෙත් පියාගෙන තුරුලටම වී සිටියේ සිහින් කෙඳිරියකද නොනැගෙන පරිදි ඇගේ උණුසුම් දෙතොල් ඔහුගේ මුව වෙතම තබාගනිමින්ය.

සඳ එලිය ඇගේ වත මතට පැහැපත්ව වැටී තිබිණි. කහ පැහැති ඇගේ වත එලියෙන් තවත් පැහැපත් වී තිබුනේ ඇත්දළ පැහැයෙනි. ඔහුගේ බඳ මතින් වැටී දුහුල් සලුව ඉවත ඇදී නිරාවරණ්ය වී තිබූ ඇගේ සුමුදු පා සඳ එලියේ වාත්තුකල රන් කඳක් සේ දිලුණි. ඔහුගේ පහසින් ඇගේ සියොළඟම තව තවත් උනුහුම් වී රත් පැහැ වී තුබුනේ වීනස් දෙව් දුව ගං දෑලට වැඩ සිටි අයුරිනි. ඇගේ රූ සපුවේ විචිත්‍රත්වය තවමත් සඟවාගෙන සිටි දුහුල් සලුව සඳ එලිය සමඟින් පොරබඳිමින් සිටියේ සොබාදහමට ඇගේ රූ සිරිය නොපෙන්වා සඟවා සිටීමට මෙනි. නමුදු මෙයින් හෙම්බත්වී හුන්නේ සඳ එලිය, මදනළ, සොබාදම පමණක් නොවෙයි, මේ නිලංකාරයෙන් දෑස් විඩා හැර අගේ රුසිරිය සිත් පුරා, ගත පුරා විඳ දරාගැනීමට සොබාදහමටත් සඳ එලියටත් වඩා අයිතිවාසිකම් කී යෞවනයාද සිටියේ නොඉවසිල්ලෙනි.

නැත එපමණ්ක්ද නොව, මෙතරම් කාලයක් තිස්සේ තමන් සුරැකි තම සොඳුරුතම රුව, යහ ගුණ, නිර්මල ආත්මය ඔහුට පවරා දෙන්නට ඇයද උන්නේ අප්‍රමාණ නොඉවසිල්ලකින්, ආදරය, සෙනෙහස, අපරිමිත දයාබරත්වය, සදාතනික ජීවිතය, දෙදෙනාගෙන් දෙදෙනාට පවරා දීමට මීටත් වඩා කදිම සොඳුරු තවත්නම් මොහොතක් වීද..  නොඉවසිල්ලෙන් බලා හිඳි සඳ සමා වුව මැන.. ඔහුගේ නෙතඳුන් වලට පමණක් උරුම වූ ඒ මිහිරියාව සඳෙන් මුවාකල වළාකුල් සේද සළුවට අප වෛර නොකරමු, සඳ අතුරුදන් වූ මොහොතේ ගිනි මැලයේ ලා එලියෙන් මුදාහල දුහුල් සලුවෙන් නිරාවරණය වූ ඔවුන්ගේ සුමුදු සුමුදු මුදු යහන්තලාවේ ඔවුනට පරමානන්දය සොයා යාමට ඉඩදී, අපද සැඟවෙමු... ඔවුන්ගේ ලෝකයට ඉඩදෙමු.. සුබපතමු..


හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණි කැට 
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

ගායනය : අමරසිරි පීරිස්, වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


(Hima Diyawee - Amarasiri Peiries & Wasantha Thilakangani)


ගීතය අහනවනම්...


Monday, April 4, 2016

•මරණයක සැමරුම

"උඹේ අවුරුද්දෙ පිංකමට.."



සබඳ...
බක් මහේ දිනක පෙරදා..
උඹේ කඳුළැල් සෝ සුසුම් මැද..
උඹේ උණුසුම් කරමතින් මම
නොඑන ගමනක් ගියෙමි..

වර්ෂයක් ඉක්ම ගොස් ඇත..
ඔබ තවම දුකින් යැයි හිතුන හින්දාම
මම පැමිණියෙමි මීදුමක
බැහැදකින්නට ඔබ සැවොම
පිසලන්න ඔබෙ කඳුලු..

දුමාරය මැදින් මමදුටුව දේ ඇත්‍තක්ද..
පීඨෙ ක්‍රීඩා පිටිය සැණකෙළියක්ය එකම එක..
හෙණ හඬින් ගිගුම් දෙනරළු බේස් නද අතර නේකවිද ගී සින්දු

ඒ අතර රඟයි මා මිතුරු කැල කුල්මත්ව
එය ක්‍රිකට් උළෙලක්ලු
අණුස්මරණය කරන
ඔබ සැවොම දුක් වෙච්ච
මගේ මළගම දිනට..

සැබෑවක් විය නොහැක මෙය
මා දකින්නේ සිහිනයක්මය
නොහැක මගෙ මිතුකැලට
මගේ මරණය කරගන්න පොපියනා කෙළිබිමක්
විය නොහැක මෙය සැබෑවක්
මා දකින්නේ සිහිනයක්..

පැමිණ ඇත මා වැරදි තැනකට
මගේ විදු බිම නොවෙයි මේ
මගේ මිතුරන් නොවෙයි මේ..

ම'මිතුරන් කොහේ හෝ සිට
දන් දෙනව ඇති ලේ බිඳු
තබනවා ඇත බෝධි පූජා..
මගේ මා පියන් සමඟින්
පුද දෙනව ඇත බණද දානද..
පිං පිණිස..
නුඹව හැරගිය..
නුඹේ මිතුරා නමට....
දොළොස් මසක් ගෙවී ඇති තැන...


**************************************

නිමිත්ත : *********** ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යේෂ්ඨ සොහොයුරෙකු පසුගිය වසරේ අප්‍රේල් මස හදවත් රෝගයක් විසින් අපෙන් උදුරාගන්නා ලදි. ඔහු වෙන්ව ගොස් වසරක් පිරීම නිමිතිකොටගෙන දැනට පාසැල් පද්දතියට එකතුවී සිටින එම "ජ්‍යේෂ්ඨ" සොහොයුරන් විසින් "ක්‍රිකට් මැච් එකක්" සංවිධානය කොට පවත්වන ලදි!!!!!