Pages

Sandumal

Sandumal

Wednesday, December 10, 2014

•සුදු රැළි ගවුම සලායා


"පුංචි දෝණියේ නුඹ නුඹෙ මවට සමානා"





වෙලාව දහවල් එක හමාර පසු වූවා පමණි. පාසැල් ගේට්ටුවට මදක් එපිටට වී මෝටර් රථයේ හිඳිමින්ම මා බලා සිටියේ කඩි ගුලක් සේ පොදිකන ගේට්ටුවෙන් මගේ දියණියගේ සිඟිති මුහුණ මතුවෙනා තුරුය. විවිධ වයස් මට්ටම්වල, සිසු සිසුවියෝ පොරකමින් පාසල් ගේට්ටුවෙන් මතුවෙමින් නොපෙනෙමින් සිටියේ මගේ පාසැල් කාලයට මගේ හිතද යොමු කරමිනි. අතීතයේ මෙවැනිම දිනක මම මෙසේ මෙම ගේට්ටුව අභියසට වී සිටියෙමි. මීට මද දුරක් එපිටින් වූ මා ඉගෙනගත් විද්‍යාලයෙන් විනාඩි කිහිපයක් කලියෙන් පැනගන්නා මා එක හමාර වන විට කෙසේ හෝ මෙතනට පැමිණෙන්නේ දයාබර ඇය දැක ගැනීමේ නොනිමි ආසාවෙන්ය. ඒ වන විට මා ඇයට මගේ ආදරය ප්‍රකාශ කර හෝ නොතිබුන මුත් සැමදා ඒ රසඳුන නෙත් ගල්වා ගැනීමට මම මෙතනට පැමිණියෙමි.

එදා මෙම පාසල් ගේට්ටුව අභියස මෙතරම් කලබලයක් නොතිබුනි. ගේට්ටුව පැත්තේ පාර අයිනේ නතර කර තිබූ පාපැදියක් යතුරු පැදිඅයක් හැරුණු කොට වෙනත් වාහනයක් විනි නම් ඒ ඉතාම කලාතුරකිනි. පාරෙන් එහා පැත්තේ මා දැන් සිටින තැන වූයේ කුඩා පොත් කඩයක් සහ බස් නැවතුමයි. සතර අත විහිදී සිටියේ පාසැල් ළමුන් පමණෙකි. නමුත් අද තත්වය වෙනස් වී ඇත. පාපැදි වෙනුවට පාසැල් වෑන්, ත්‍රී රෝද රථ, මෝටර් රථ පාර දෙපසම පෝලිමට නවත්වා තිබේ. එදා තිබුන කමල් අයියාගෙ කුඩා පොත් කඩය අද නොමැත. ඒ වෙනුවට එතන වූයේ ඩීවීඩී හලකි. ඊටම යාබදව ජංගම දුරකතන අලෙවි සැලක් හා කොමියුනිකේෂන් එකක් ස්ථාපනය කොට තිබේ. එදා තිබූ සුවිසල් සියඹලා, මාර වෘක්ෂයන් අද පෙන්නෙන්න්ටවත් නැත. සතර අත විහිදී සිටි පාසැල් ළමුන් වෙනුවට අද පාට ඇඳුමින් සැරසුණු, යකඩ දම්වැල් අතේ කරේ එල්ලාගත්, අවුල් වී ගිය හිසකේ වලින් යුත් තරුණයන් පාසල අසලින් නිතර එහේ මෙහේ ගැවසෙනු පෙනෙන්නට ඇත. ඩීවීඩී හලේ තවත් කිහිප දෙනෙක් වූ අතර පාසැල් හැරගිය තරුණයන් අතරම පාසැල් ඇඳුමින් සැරසුනු ශිෂ්‍යයන් කිහිප දෙනෙකුද එහි විය. බහුතරයක් දෙනා ජංගම දුරකතන අලෙවිසැලට වී දුරකතන අතේ තබා ගනිමින්, ඒවා එහෙට මෙහෙට මානමින් සිටි අතර හැංගි හැංගි ඒවායේ කැමරා මානමින් සිටියේ සිසුවියන් ඉලක්ක කරගනිමින් විය යුතුය.

කෙසේ වුවද කාලය මැවු වෙනසක අරුමය පිළිබඳ සිතමින් එදවස මතක සැමරුම් ස්මරණය කරමින් ගේට්ටුව දෙස බලාහුන් මා අතීතයත් වර්ථමානයත් අතර පැටලී අතරමංව උන්නෙමි. එක්වරම ගේට්ටුවෙන් මතු වූයේ අනේක වාරයක් මා දෑස් දකින්නට පෙරුම් පිරූ ඒ නෙතඳුන් රුවයි. කොණ්ඩ කරල් දෙකෙන් එකක් පපුව හරහා පහලටද අනෙක පසු පසින් පිට හරහාද වැටීමට සලස්වාගෙන, දඟකාර ගමනින්, සුදු ගවුමේ රැලි සලමින් ඒ මතුවූයේ මීට දශක දෙකක මගේ අතීතයයි. ඔව් දුවේ, ඒ මතුවුනේ ඔයා නෙවෙයි, ඔයාගෙ අම්මමයි. මගේ නෙත රැවටුනු බව මට වැටහුනේ ටික වෙලාවකුත් ගියාට පස්සෙ. මතක ලොවින් මිදිල වර්ථමානෙට ආවෙ මං එතකොටයි. එදා මං මෙතනම හිට ගෙන ඉන්නකොට ඔයාගෙ අම්මත් ඔය ගේට්ටුවෙන් මතුවෙලා පාර අයිනට ආවෙ අද ඔයා ආව විදියටමයි. බිමට බර දෙනෙත් වරින්වර එසවෙමින්, දෙපස බලමින්, සුදු ගවුමෙ රැලි සලමින්, ආවෙ ඔය විදියටමයි.  එදා ඔයාගෙ අම්ම එහෙම එනකොට මට මතක් උනේ මහගම සේකරගෙ කවි, මං මිමිණුවේ අමරදේවයන්ගෙ ගී. ඒවට තාලය සපයමින් මෙතන තිබුන දැවැන්ත සියඹලා ගස්වල මාර ගස් වල උන්නු කුරුල්ලො කිචි බිචි ගෑවා. ඒ හැමදේම මැදින් සුරංගනාවියක් වගේ දූගෙ අම්මා පුංචි කෙල්ලෙක් විදියට දුවගෙන ආවා. අද ඔයත් ඒ විදියමයි. දූගෙ අම්ම වගේමයි. ඒත් අද එහෙම ඉන්නෙ මගෙ දුව විතරයි. එදා එහෙම පසුබිම හදපු ලස්සන පරිසරයනම් අද නෑ. සේකරගේ පදවැල් අමරදේවගේ හඬින් අද ඇහෙන්නෙ නෑ. ඒ වෙනුවට "හිත හිරිවට්ටන ඔය ලොකු ඇස් දෙක සින්නක්කරේට ලියාගන්න" ඉල්ලමින් හඬ නගන සිංදුවකට දූගෙ වයසෙම වගේ කෙලිපැටික්කියන් ටිකක් අඩ නිරුවතින් රඟදෙනවා ඩීවීඩී කඩේ රූපවාහිනී යන්ත්‍රයේ. එදා අම්මි එනකල් බලන් හිටිය ඔයාගෙ තාත්ති වගේ කොල්ලන් නෙවෙයි, අද ඔයාල දිහාවට ජංගම දුරකතන කැමරා හොරෙන් මානමින් කෑදර බැල්මවල් ඔයාලට හෙලමින් මත් වෙච්ච කොලු ගැටවු නරුම නෙතින් බැලුම් හෙලනවා ඔයාලට. එදා වගේ ඔයාලගේ නටවන දෙනෙත් වලට, දිගම දිග කොන්ඩෙට සුදුගවුමෙ ලස්සනට, වටකුරු මූණෙ හුරතලේට  නෙවෙයි, ඔයාලගේ පිරුණු ළමැදට, ළපටි අත් පා වලට, පිරුනු උකුලට. ඒ නිසාම ඒ බැල්මෙ තියෙන්නෙ ආදරය සෙනෙහස උතුරා යන දයාබර හැඟුමක්නම් නෙවෙයි, රාගයයෙන් කාමයෙන් උතුරන ගිනිගෙන දැවෙන බැල්මක්.ඒත් මගෙ දූ මේ කිසිවක්ම නොදැන එදා අම්ම ආව විදියටම දුවගෙන එනව මං දිහාවට, තාමත් ලෝකය එදා වගේමයි හිතාගෙන..

"තාත්ති..ගොඩක් වෙලාද ඇවිත්? යමු ඉක්මනට, මට අද තුනට ක්ලාස්.."




සුදු රැළි ගවුම සලායා
නෙතඟින් බැලුම් බලායා
වීදි කෙළවරින් මතු වන
පුංචි දෝණියේ නුඹ
නුඹෙ මවට සමානා....

මහගමසේකරගේ කවි
මග දෙපස පිපීලා සැලුනා
තුරු හිස කුරුලු තුඩින්
අමරදේවයන් ගැයු
ගී පද වැටුණා
පොත් මිටිය අරන් ඈ දිව ආවා
ඒ වගේම අද ඔබ දිව එනවා....

දොර දොර වියරු ගැයුම්
ඉඟි බිඟි සළෙල බැලුම් පොර කනවා
කම්හල් දොරටු වැසී සා ගිනි
සිඟමන් ඉල්ලා යනවා
ඒ කිසිත් නොදැන නුඹ දිව එනවා
ලෝකයම එදා වගෙ යයි හිතලා....

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - වික්ටර් රත්නායක
ගායනය - වික්ටර් රත්නායක





අහන්න ගීතය...



විශේෂ සටහන : ගීතය රසවිඳීමට මා හට තිළිණ කල අපේ දයාබර සිංදු ඇනෝට හද පිරි ප්‍රණාමය...

ඡායාරූපය අන්තර්ජාලයෙනි..