Pages

Sandumal

Sandumal

Friday, August 15, 2014

•නිල් මහනෙල් බරයි කියා

"වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ..."







"නංගියේ..මොකද්ද බං මේ ලියුම? ඈ බං, මේ ගාමන්ට් එකකින් නේද?"

"කෝ ඕක මෙහෙ දෙන්න අක්කෙ. ඕක මට ඇවිත් තියෙන්නෙ?"

"මොකද නංගියේ මේ? උඹ ගාමන්ට් යන්නද හදන්නෙ?"

"අනේ නංගියේ, මං මට පුලුවන් විදියකට කන්න අඳින්න දෙන්වනේ, ඇයි රත්තරන් උඹ රස්සාවක් කරන්න හදන්නෙ? මලක් වගේ සැහැල්ලුවට සියුමැලිව හැදිච්ච උඹට බෑ බං කොළඹ රටේ ගිහින් මෙච්චල් වෙන්න"

"බෑ කියල හරියන්නෙ නෑ අක්කෙ. අක්කට තවත් දුක් විඳින්න දෙන්න බෑ මට. මගේ හිත හයියයි. මං යනවා අක්කෙ මේ රස්සාවට."


***************************************************************************************
                                                                                    



2001.08.17
නිවසේදීය,



    දයාබර නංගී,

උඹ නිවාඩුවට ඇවිත් ආපහු ගිහින් එව්ව ලිව්ම හම්බුනා. උඹ පරිස්සමට ගියා කියල දැනගත්තට පස්සෙනම් මගේ ඇඟට ලේ ටිකක් ඉනුවා. මං දන්නවා මං මේ ලියන වෙලාවෙත් උඹ ඔහෙටවෙලා මහන මැසිමත් එක්ක ඔට්ටුවෙනව කියලා. උඹ ඔය මහන ඉඳිකට්ට උඩ පහළ යන හැමවෙලාවකම මගේ පපුව කීරි ගැස්සෙනවා නංගියේ.

දුකයි නංගියේ, වාවගන්න බැරිතරම් දුකයි. ඒත් ඒත් එක්කම ආඩම්බරයි මට උඹ ගැන. උඹට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ, අම්මයි තාත්තයි ඔත්පල වෙනකොට උඹ බොහොම පුංචියි. මල්ලි ඊටත් පුංචියි. මට යන්තම් අවුරුදු දාසයයි. ඉස්කෝලෙ ගමන නවත්තල මං පුලුවන් හැටියකට පවුලෙ බර කරට ගත්තෙ බර උහුලන්න පුලුවන් කමකට නෙවෙයි. ඒත් ඉන්න හිටින්න ගේ කෑල්ලයි ඉඩමයි තිබ්බ නිසයි, වත්තෙ පොල්, කොස් ගස් වලට පිංසිද්ධවෙන්නයි අපි තුන්වේල සරිකරගත්තට අනික් වියදම් හොයාගන්න ඕනි නිසයි උඹලට ඩිංගක් හරි උගන්නගන්න ඕනි නිසයි මං කුලී වැඩක් හරි කරල කීයක් හරි හොයාගත්තෙ. ඒත් මල් වගේ හැදුනු උඹලට ඒ බර දෙන්න මට තුන් හිතකින්වත් හිත් දුන්නෙ නෑ.

ජීවිතේ බරක් පතලක් නැතිව වරා මල් දෙකක් වගේ සැහැල්ලුවෙන් උන්න උඹයි මල්ලියි දිහා බලල මං මගේ දුක් තුනීකරගත්ත. ඒ නිසා මේ ජීවිතේ බර ඩිංගක් වත් උඹල දෙන්නට දැනෙන්න දෙන්නැතිවෙන්න මං පරිස්සං උනා. නිල් මානෙල් මලක බරවත් දරාගන්න බැරි උඹ, වැවේ දියකඳ කපාගෙන එන හීල් හුළඟෙ හීතල දරාගන්න බැරි තරම් සියුමැලි උඹ කොහොම මේ ජීවිතේ බර දරාගන්නද කියලයි මට ඒ කාලෙ හිතුනෙ.

ඒත් උඹල උස් මහත්වෙනකොට සුද්දෝදන රජ්ජුරුවන්ට සිද්ධාර්ථ කුමාරයාගෙන් ලෝකෙ දුක හංගන්න බැරිවුනා වගේ මේ ජීවිතේ බර උඹෙන් තවත් වහං කරගන්න මට පුලුවන් උනේ නෑ. දැනුං තේරුං ඇතිවෙනකොට ජීවිතේ අමාරුව උඹට තේරුණා. මං හොයාගන්න පිච්චියෙන් මල්ලිගෙයි උඹගෙයි දෙන්නගෙම තියා එකෙක්ගෙවත් ඉගෙනීමට සෑහෙන්නෙ නැතිබව උඹට තේරුණා. ඉතින් උඹ ඉස්කෝලෙට පිටුපානකොට ඒකට මට උඹට බනින්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒත් උඹ මල්ලිට එහෙම කරන්න දුන්නෙ නෑ. ගුටි දීල හරි ඌව ඉස්කෝලෙට එලෙව්වා.

ඊළඟට උඹ පත්තර පුරා පෙරල රස්සා හොයනකොට, ඒ දිහා බලං හූලන්නව ඇර වෙන කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ මට. උඹලගේ අඩුපාඩු පිරිමහල දෙන්න මට හයියක් නැතිකොට මං කොහොමද කටක් ඇරල උඹව වලක්කන්නෙ. උඹේ වයසෙ කෙල්ලෙ හැඩට වැඩට අඳිනකොට උඹ හැමදාමත් සෝද සෝද දියාවෙලා ගිය එකම චීත්ත ගවුම ඇන්ද. අනික් එවුන් කනේ අරුංගල් දානකොට උඹ කන් සිදුර වැහෙනවට කරපිංචා නැටි දෙකක් ගහගත්තා. ඉතින් මං කොහොමද උඹට මේ දුක් තවත් විඳින්න අරින්නෙ.

කොහොම උනත්, මට ආඩම්බර සැහැල්ලුවෙන් උඩ පැන පැන පුංචි බොළඳ කෙල්ලෙක් වෙලා ඊයෙ පෙරේද වෙනකල් උන්නු උඹට අද තියෙන ආත්ම ශක්තිය ගැන. මේ ඔක්කොටොම වඩා අදහගන්න බැරි මහමෙරක් තරම් වෙච්ච මේ බර කන්ද කරට ගත්ත උඹ ගැන.

කාලයක් ඉර හඳ වෙලා අපිට එළිය දුන්නු, ඒත් අද දුඹුලු බැඳිල එළිය නිවුනු අසරණ දෙමවුපියෝ දෙන්න අද උඹ නිසා පණගහල ඉන්නවා. ඒ සරණයො දෙන්නගෙ බඩට ගුණ කෑමක් වැටෙන්නෙ උඹ හින්දයි. දෝස්තරල සස්ටජන් දෙන්න කිව්වට ඒ කාලෙ මං බත් කැඳ ටුකක් හරි හදල පෙව්වෙ කොච්චර අමාරුවෙන්ද. ඒත් දැන් උඹ හිංද ඒ මිනිස්සුන්ට හැමදෙයක්ම ලැබෙනවා.

ඔක්කොටම වඩා පොඩි එකාගෙ අධ්‍යාපනය. ඌටත් දැන් අඩුවක් පාඩුවක් නැතිව ඉගෙන ගන්න පින පෑදිලා තියෙනවා. මේ දවස් වල ඌ නැහීගෙන පාඩම් කරනවා. උඹ ගැන මතක් කරකර අඬනවා, කොල්ලෙක් වෙලත්. අක්කගේ සල්ලිවලට. දාඩිය මාන්සියට හොඳ ප්‍රතිපලයක් අරන් දෙනවා කියනවා. අකුරු කරගන්න බැරිව නිවිල යන්න ගිය ඒ තරු කැට වලට ආයෙ එළිය දුන්නෙ උඹයි නංගියේ.

දවසට එක වේලක් පත්තුවෙච්ච උඹෙයි මගෙයි මැටිගෙදර ලිප දැන් වේල් තුනටම පත්තුවෙනවා නංගියේ. කොටින්ම උඹ නිසා අපි හතරදෙනාම ජීවත්වෙලා ඉන්නවා. උඹ අපිව ජීවත් කරනවා. ලෙඩින් ඉන්න අම්මයි, අප්පච්චියි දාල යන්නයි, මල්ලියා බලාගෙන ඌට කෑම ටික තේ ටික හදල දෙන්නයි ඕනි නිසා මං මෙහෙම ඉන්නවා මිසක්, නැත්නම් මාත් උඹ එක්ක එනව නංගියේ. කොහොම උනත්  අපේ ගෙදර ඇවිලිච්ච මේ ගින්දර නිවා දාපු උඹ ගැන කියන්න වචන මට හොයාගන්න බෑ රත්තරනේ. ඒවට මටපොඩිකාලෙ වගේ උඹට කියන්න පුලුවන් කවි සිංදු නෑ නංගි. 

ඉඳිකටු මල ආදරෙන් උඹ ඉම්බෙ රිදෙන බව දැනගෙනම බව මං දන්නවා නංගියේ. ඒත් ඒ ඉඳිකට්ට උඹ ආදරෙන් ඉම්බෙ අපි වෙනුවෙන් කියල මතක් වෙනකොට පපුව හිරවෙනවා වගේ. ඒ වේදනාව සතුටක් කරගෙන ඒත් උඹ හිනාවෙනවා. අපිටත් හිනාවෙන්න කියනවා. උඹ කොච්චරනම් දුකක් විඳිනවද මගේ නංගියේ. ඔය හිනාවට යටින් ගල් කරගෙන ඉන්න කඳුලුවල බර මට දැනෙනවා. අනේ මට උඹේ කඳුලු දියවෙලා යනකල් අඬන්න පුලුවන්නම්..

හීනි හීනි නූල් එකට අමුනල උඹ ඔය මහන්නෙ අපේ ජීවිතේ ඉරුණු තැන්. උඹ මහන නූල් පොටේ එල්ලිලා අපි අපේ ජීවිත ජීවත් කරනවා. උඹේ ඔය නූල් පොට අපේ ගෙදර හැමෝගෙම අත්වැල වෙලා.

උඹ ගමෙන් ගිය දවස් වල ගමේ උන් නොයේක් කයි කතන්දර කිව්වා. අපේම නෑයො පවා. හැබැයි ඒ එකෙක්වත් එච්චර කාලෙකට අපිට හාල් මිටක් දීල නෑ. උන්නද මළාද බලල නෑ. උන් කිව්වා උඹත් ඉවරය් කියලා. සිදාදියේ ගාමන්ට් රස්සාවට යන එවුන් ගැන කුමන කතාද කිව්වා. ජුකී මහන්න ගියා කියන්නෙ ඉතින් ජීවිතේ විහින් ඉවරකරගත්ත වගේ කිව්වා. සමහරු පාරෙ යනකොට මට ඇහෙන්නම හින්ට් ගැහුව. සමහර උන් කිව්ව කුණු කතා මට උඹට කියන්න බෑ මගෙ නංගියේ. ඒ තරම්ම දේවල් උන අපිට කිව්ව. මං මගේ රත්තරං වෙනුවෙන් ඒ හැම වෙලේම හිත යටින් අඬා වැටුනා. ඒත්, මං මගේ නංගි ගැන දන්න නිසා ඩිංගක්වත් බය උනේ නෑ. ඒත් මට ගොඩාක් දුක හිතුන.

ඒත් නංගියේ උඹ පහුගිය දොහේ ගම ආවම ඒ හැම එකාගෙම කටවල් වැහුනා. මට තාමත් මැවිල පේනවා උඹ උඹට තිබ්බ එකම දම්පාට බ්ලවුස් එකයි, දිග සායයි ඇඳගෙන ගමෙන් ගියපු හැටි. ගමේ උන් කිව්වෙ උඹ නිවාඩුවට එනකොට දැන් බලාගත්තැකි කියලා. ඒත් උඹ ගමේ උන්න වගේම චීත්ත ගවුම් කෑල්ලක් ඇඳගෙන උඹේ බිමට දිග කොන්ඩේ එහෙට මෙහෙට පද්ද පද්ද ඉස්සර වගේම එනකොට උඹට ගල් ගහන්න බලං උන්නු එවුන්ගෙ කටවල් පූට්ටු උනා. පට්ටන්දර දෙඩෙව්ව උනුයි, උන්ගෙ පට්ටන්දරය් උඹ පර සක්වලටම වීසිකලා බං. දැන් දැන් ගමේ හැම එකාම උඹේ වරුණෙ කියන්න පටන් අරං.

ජයසේකර මුදලාලියගෙ පුතා තැන් දෙක තුනකම කියෝල තියෙනවා උඹව කරකාරෙට ගන්න මනාපයි කියල. මං දන්නවා පුංචි සංදියේ ඉඳලම උඹට ඒකව නයාට අඳු වගේ කියල. මං මේ කිව්වෙ ගමේ එකාලගෙ උඹට තියෙන ගෞරවේ ගැන.

ඉතින් නංගියේ මං දැනට නවතින්නම්. ආයෙ වංගියක් උඹට ලියන්නම්. උඹ්ට උපදෙස් දෙන්න මං පණ්ඩිත නෑ. අනික උඹට එහෙම ඕනිත් නෑ. මගෙ නඟා ගැන මං දන්නවා. අම්මයි, අප්පච්චියි, මල්ලියි උඹව ආදරෙන් මතක්කරන්න කිව්වා. පරිස්සමින් ඉඳපං මගෙ නංගියේ. උඹට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි.


මීට,
අක්කා.







නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද 
අදහන්නට පුළුවන්ද...

දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට 
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර 
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...

තබා දෙතොල ඉඳික‍ටු තුඩ 
මිහිරි සිනා විකසිත කළ 
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය : රෝහණ වීරසිංහ





පසුව ලියමි

කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ තවත් අසමසම අපූර්වතම පද පෙලක් කලකට පසුව ඔබ හමුවට ගෙන ඒමට අවස්ථාව ලැබුණි. මෙහිදී මතක් කල යුතු සුවිශේෂිතම කාරණාවනම්, මේ අපූර්වතම ගීය මගේ දෙසවනට සමීප වූ අකාරයයි. එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ අපේ හිත මිතුරු පත්තර මල්ලී බ්ලොග් රසවතාටයි. පහුගිය දිනෙක ඔහු මෙම ගීය මට රසවිඳීමට අවස්ථාව සැලසූ අතර මේ සඳහා සංවේදනාවක් ලිවීමට යෝජනා කලේය. ඒ අනුව ඔබට අද මෙම සංවේදනාව සහ ගීතය සමීප කිරීමට මට අවස්ථාව හිමි විය. එනිසා පළමුවෙන්ම පත්තර මල්ලීට මාගේ දයාබර ස්තූතියි පුදකර සිටින්නෙමි. මෙලෙස දයාබර සහෘද ඔබෙන් ලැබුනු ගීතයන් කිහිපයක්ම මා සතුව සුරැකිව පවතින අතර සුදුසු වේලාවන් හීදී එම ගීත සඳහාද සංවේදනාවන් ඔබවෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.

ගීතය පිළිබඳව යමක් කියනවානම්... මා මෙසේ කියන්නම්. මෑත කාලයේදී මා ඇසූ වඩාත් රසවත්ම, සංවේදීම, පපු කුහර විනිවිද ගිය විශිෂ්ඨතම ගීතය මෙයයි. එය එතරම්ම මගේ හදවතට දැණුනි. ගීතය තුලත් වඩාත් මා සිත් ගත් කොටස වන්නේ ගීතයේ අවසන් කොටසයි. 

"තබා දෙතොල ඉඳික‍ටු තුඩ 
මිහිරි සිනා විකසිත කළ 
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ"

"වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ" මෙම වචන කිහිපය තුල කෙතරම් නම් දිගු කතාවක් අන්තර්ගත වන්නේද. මෙම වචන කිහිපය තුල කෙතරම් වටිනා පණිවිඩයක් අපේ සමාජයටත් ඇඟලුම් සේවිකාවන්ටත් ලබා දෙන්නේද. මෙයයි පද රචනයේ අපූර්වත්වය. මෙයයි පද රචකයාගේ විශිෂ්ඨත්වය. ගීතයක් තුල රත්න ශ්‍රී ලකුණ මෙයයි. ගීත රචනය තුල ඔහු අසම සම යැයි මා පවසන්නේ එනිසායි. ඒ හා මුසුවුන දීපිකා ප්‍රියදර්ශණී මහත්මියගේ හඬ මාධූර්‍යත්, රෝහණ වීරසිංහයන්ගේ මිහිරි තනුවත් සිංහල ගීත සාහිත්‍යට තවත් අපූර්වතම නිර්මාණයක් උරුම කර දී ඇත.

ගීතයක තනුව, සංගීතය මා රසවින්දද, ඒ පිළිබඳ විචාරයක් කිරීමට තරම් සංගීතය පිළිබඳ දැනුමක් මා හට නොපවතී. නමුත් මේ ගීතයේ සංගීතයේද යම් සුවිශේෂි බවක් ඇතැයි මට හැඟෙයි. ඒ ගීතය පුරාම කඩින් කඩ ඇසෙන අපූරු නාදයයි. එය මෙන්න මේ අහවල් නාදය යැයි කීම්ට මා පොහොසත් නැත. එසේ වුවද ගීතය රසික හදවතට අවධාරණය කරමින්, මේ කියන කතාව තුලම අප රඳවා ගනිමින් ඒ වැයෙන පසුබිම් වදනය ගීතයට අපූරු වර්ණයක් ලබා දී ඇත. එම වාදනය මට සිතෙන අයුරින් ස්වර පුවරුවකින්(කී බෝඩ්) නැඟෙන්නක් විය යුතුයි. මේ පිළිබඳ විවරණයක්, අපේ සංගීත විශේෂඥවරයා වන පත්තර මල්ලීගෙන් මම උදක්ම බලාපොරොත්තුවෙමි.

එසේනම් මේ සටහන මෙතෙකින් නිමා කරන්නෙමි. දයාබර ඔබට මේ ගීතයේ රසයද බෙදා ගැනීමට ඇරයුම් කරමි.

අවසාන වශයෙන් මමද ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාව කරන අයෙකු ලෙස අපේ දයාබර ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සොහොයුරියන්ගෙන් මෙලෙස ඉල්ලීමක් කරමි.



"ඔබලා වෙනුවෙන් ගැයෙන මෙම ගීතයට ඔබලා විසින්ම සාධාරණයක් ඉටුකරලන්න."

ඒසේ නම් දැන් ගීතය අසමු...