Pages

Sandumal

Sandumal

Friday, June 27, 2014

•පෙර දිනයක මා පෙම් කල යුවතිය

"නොකා නොබි දුක් වින්ඳ අතීතය යළි මට සිහිවෙනවා"




ඔව්..මං ඒ කතාව මෙතනින් පටන්ගන්නම්..මුල ඉඳලම..අතීතයෙන්ම... 1988-89 භීෂණයේ රුදුරු ගිනිදැල් රට පුරා ඇවිලෙද්දි ඒ ගින්නෙ උනුසුම සබරගමුවටත් හොඳ හැටියටම දැනුනා. මේ ගිනිදැල්ලෙ උනුසුමෙන් පිච්චිලා යන්න කලින් එක්තරා යුවලකට සිදුවුනා සීතල සබරගමුවෙන් ගිනිගහන වියළි කලාපෙට ජීවිතේ අරන් එන්න. අවසාන ප්‍රතිපලය විදියට මුලින් උදුරලා දාපු ලපටි පැලයකට සිද්ද උනා බිංතැන්නෙ දූවිලි පොලොවෙ කොහොමහරි පණ ගැටගහගන්න. මේ කතාව පටන්ගන්නෙ එතනින්...

නුවරින් ආව මහියංගනේ බස් එකෙන් 89 අවුරුද්දෙ උනුසුම් දවසක මේ යුවල මහියංගනේ දූවිලි පොලොවට පය තියනවා. අතේ තිබුන රුපියල් තුන්සීයයි දෙන්නගේ ඇඳුම් බෑග් එකයි විතරයි මේ යුවලගේ සන්තකේටම තිබුන එකම වත්කම. ආ.. තව දෙයක් තිබුනා. ඒ තමයි දෙන්න අතර තිබුන අසීමාන්තික සෙනෙහස ඒකට එකතු වුන ආත්ම ශක්තිය. හිතේ හයිය.. තරුණයට තිබුනා දෑතෙ රස්සාවක්. ඔහු අනර්ඝ පෑස්සුම් ශිල්පියෙක්. ඔන්න ඔය අඩුමකුඩුම ටික අරගෙනයි මේ දෙන්න බස් එකෙන් මේ නුහුරු උණුසුම් පුරවරයට පය ගහන්නෙ.

ඒ ආවේ එන්න කලින් කෝල් කරල ඉන්න හිටින්න තැන් ලෑස්තිකරල කෙලින්ම ගිහින් පදිංචි වෙන්න එහෙම බලාගෙන නෙවෙයි. මහියංගනේ කලුපාටද, සුදුපාටද කියලවත් දැනගෙන නෙවෙයි ඔවුන් ආවේ. ඒ ඒකාලෙ තිබ්බ සමාජ සබඳතා වල හැටි. වාසනාවකට මේ නන්නාදුනන නගරෙ මේ තරුණයාගෙ කල්‍යාණ මිත්‍රයෙක් හිටියෙ. ඒ සුනිල්. සුනිල් සහ මේ තරුණයා කාලයක් එකට මොණරාගල ගරාජයක රස්සාව කලා. එකට කෑවා බිව්වා, එක බූරු ඇඳේ නිදාගත්ත. මේ කියන සුනිල් කවුද කියල අදනම් මුලු රටම දන්නවා. ඒත් ඒ ගැන වැඩිය මොකුත් නොකියන්නේ මට මේ කතාව මෙහෙම කියන්න අවසර තිබුනට මගේ නොවන දේවල් කියන්න මට සදාචාරාත්මක අයිතියක් නැති නිසා.

ඒක අමතක කරමු. කොහොමහරි මේ යුවල යනවා මේ සුනිල්ව හම්බෙන්න ඔහු වැඩකරපු ගැරිජ් එකට. ඉතින් ඔහු මේ යුවල සාදරයෙන් පිළිගන්නවා. ඊටපස්සෙ එක්කන් යනවා මහියංගනේ පැරණිම සුප්‍රසිද්ධම සමනල හෝටලයට, තේ බොන්න. ඊළඟ ප්‍රශ්නෙ උනේ රෑට නවතින්නෙ කොහෙද කියන එක. ඒකටත් විසඳුමක් හම්බෙනවා. තරමක් දුරින් ඥාති වෙන නිවසක ඔවුන් රැය පහන් කරනවා. ඊළඟ දවසේ මේ තරුණයා රැකියාවක් හොයන්න පටන්ගන්නවා. තමන්ගේ දෑතෙ රස්සාවට, ප්‍රගුණ කරපු ශිල්ප සාස්තරේට ගැලපෙන රස්සාවක් හොයාගන්න ඔහු මහියංගනේ හැම ගැරිජ් එකකටම යනවා වැඩ ඉල්ලගෙන.

දවස් කිහිපයකට පසු ඔහුගේ උත්සාහය සාර්ථකවෙනවා. පාලං හන්දියේ අදටත් සුප්‍රසිද්ධ ගරාජ් එකක් වෙච්ච අසෝක මෝටර්ස් එකේ ඔහුට රැකියාවක් ලැබෙනවා පුහුණු වෑද්දුම් ශිල්පියෙකු ලෙස. ඒ, රුපියල් හැත්තෑපහක දෛනික වැටුපකට. රැකියාව ලැබුනට පස්සේ, ඔවුන් ඔවුන්ටම කියල කුලී නිවසක් හොයාගන්නවා. ඇත්තෙන්ම නිවසක් කිව්වට ඒක වහල දාපු දිග ශාලාවක් වගේ කඩ කාමරයක්. ඒ කාමරේ මුණින් අතට නවපු හයිය කාඩ්බෝඩ් පෙට්ටියක් ඔවුන් දෙන්නගේ මේස පොඩ්ඩ උනා. සීනි බෝතලේ, තේ කොල බෝතලේ, මිරිස්, තුනපහ බෝතලේ වගේ අවශ්‍යම ජාති ඒ පෙට්ටිය උඩ උනත් බොහෝම ලස්සනට පිළිවෙලට හිටියා. ඒ ළඟම බිමට දමාගත්ත කඩල දාපු කාඩ්බෝඩ් පෙට්ටිය මේ දෙපලගේ සුමුදු සිරි යහන උනා.

ජීවිතේ ගෙවුනෙ ඔහොම. ඇයට ඉතාම දයාබර සෙනෙහෙවන්තයකු ලැබිලා හිටියා. ඔහුට ඉතාම දයාබර මවක් වන් සෙනෙහෙවන්තියක ලැබිලා හිටියා. හම්බෙන සතයක් නෑර මේ කෙල්ලගේ අතට ගෙනත් දීපු මේ ලස්සන කොල්ලා නිකරුනේ වියදම් කලේ නෑ තඹ සතයක්. තනිකඩව ඉන්න කාලෙ මොණරාගල ටවුමේ පෙරලි පෙරලි යන්න තරම් හොඳට අඩි ගහපු මේ කොල්ලා, මේ ආදරණීය හදවත බලාගන්න පටන්ගත්ත දවසෙ ඉඳල මත් වතුර බිංදුවක්, දුම්වැටියක් තමන්ගෙ මුව අසලටවත් ගත්තෙ නෑ. 

දුප්පත් කමේ පතුලෙම හිටිය මේ යුවලට අනාගතය සිහිනයක් වගේ උනා. ඒත් ගෙවෙන හැම තත්පරේකදිම ඔවුන් ඒ සිහිනය දුටුවා. හදවතින්ම ඒ හීනෙට තුරුල් උනා. වේලක් හැර වේලක් ඔවුන් කෑවෙ හෙට දවසෙ තුන් වේල කන්න. ඒකයි ඔවුන්ගේ ජීවන දර්ශණය උනේ. කෙල්ල පුංචි උනත් හිතේ උන්නු මහා ගැහැණිය, කළමණාකාරවරිය, කොල්ලගේ හැම දාඩිය බිංදුවක්ම මැණිකක් වගේ රැකගත්ත. කාටවත් කරදරයක් නොවුන මේ අහිංසක යුවල දවසින් දවස, දවසින් දවස හරි ලස්සනට ජීවිතේ ගලපගෙන ඉස්සරහට ගියා. ඔවුන්ට ප්‍රශ්න තිබුනෙ නෑ, තිබුනෙ එකම ප්‍රශ්නයයි. ඒ දුප්පත් කම.

ඒත් ආදරයෙන් පෝසත් වෙච්ච මේ යොවුන් ජීවිතයට අර දුප්පත්කම ප්‍රශ්නයක් උනේ නෑ. ඔන්න ඔහොම කාලය ගතවුනා. එක දවසක් මේ දෙන්නටම හරිම විශේෂ දවසක් උදාඋනා. ඔව්..ඇය...ඇය අම්මකෙනෙක් වෙලා.  ඔහු තාත්තා කෙනෙක් වෙලා. දන්නෑ ඒ වෙලාවේ ඔවුන් වින්ද සතුටෙ ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඒ වගේම දන්නෙ නෑ ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගෙන්ම සඟවාගත් ඉදිරියට මුහුණ දීමට සිදුවන අන්ත දුෂ්කරතා පිලිබඳව සිහිවී නෙතඟ නැඟි කඳුලු කැටවල ගනකම කොච්චරද කියලත්.

හැබැයි ආදරේ තවත් ශක්තිමත් උනා. ජීවිතේට මුහුණ දෙන්න තිබුන ශක්තිය දෙගුණ තෙගුණ උනා. ඒත් මේ අහිංසකයගේ පඩිය නම් රුපියල් හැත්තෑපහම තමයි. ඒ හැත්තෑපහෙන් ඔහුට කරන්න කෝටියක් දේ තිබුනා. ඒත් පුලුවන් උනේ යන්තම් බඩගින්න නිවාගන්නෙක විතරයි. ඉස්සරනම් රෑට අල්ලට සීනි ටිකක් අරන් ක්‍රීම් කැකර් බිස්කට් එකක් පොඟව ගත්ත කහට කෝප්පෙනුත් අනන්තවත් රැයවල් හරිම සතුටින් පහන් කලා ඔවුන්. ඒත් දැන්?? ඇගේ කුසට හොඳ අහාර ඕනි. ඇයට හොඳ පෝෂණයක් ඕනි. ඒත් ඔහු අසරණ උනා මිසක් ඔහුට කරන්න හැකි දෙයක් තිබුනෙ නෑ.

සමහර දවසට බොස් ලඟ කොච්චර පිංසෙන්ඩු උනත් මේ තාත්තට දවසෙ පඩිය හම්බුනේ නෑ. ඒ වගේ දවස් වල වේල පිරිමහගන්නෙක ඔවුන්ට හරිම අමරු උනා. මේත් එහෙම දවසක්. ඔහු හිස් අතින්ම ගෙදර ආවා. කන්න තිබුන හාල් හුණ්ඩුව ලිපේ තියාගත්තෙ රෑටහරි ටිකක් හොඳට කන්න හිතාගෙන. දරුවෙකුත් ඉන්න අම්මගේ බඩට බත් ඩිංගක් වට්ටගන්න.  ඔව්..රෑට නම් එහෙම කෑව. ඒත් හෙට උදේට?? සීනි ඩිංගකුයි තේ කොලයි ඇරුණාම වෙන කිසිම දෙයක් තිබ්බෙ නෑ. ඒත් වෙන කරන්න දේකුත් තිබ්බෙ නෑ. තම සොඳුරිය ගැන ඇතිවුන අසීමිත අනුකම්පාවෙන්, දරාගත නුහුනු වූ දුකින් පහුවදා උදේත් ඔහු ඇගේ නළලත සිප එළිබහින්නෙ කඳුලු ගුලි හංගගෙන.

දිනෙන් දින මෝරා වැඩෙන කුස ආදරයෙන් පිරිමදිමින් ඇය බලන් ඉන්නවා ඔහු නොපෙනී යනකල්ම. නොපෙනී යන්නට මොහොතකට පෙර නැවත වරක් හැරී බැලූ ඔහු ඇයට අතවනා අත පහල දමන්නේ තවත් වාවාගත නොහැකි කඳුලු බිංදුව අතින් පිසදමමිනි. හුදෙකලා කුටිය තුල ඇගේ තනියට උන්නෙ කුසේ උන්නු බලාපොරොත්තුව විතරමයි. ගිනිගහන මද්දහන විතරක් නෙවෙයි ඇයව පීඩාවට පත්කලේ. අමෝරා නැඟෙන කුසගින්න ඇයව අඩපණ කලා. බොහෝම හෙමිහිට ගෙවෙන දවස ඇයට දැනුනේ කල්පාන්තරකටත් වඩා දිගට. 

සැරින් සැරේට කතාකරන්න, කෙටි පණිවුඩ යවන්න ජංගම දුරකතන කියල ජාතියක් නොතිබුනු ඒ යුගයේ උදේ නොපෙනී ගිය ඔහු යළි මතුවෙන තුරු ඇයට සිදුවූයේ බලාඅපොරොත්තු දල්වා බලා සිටීමටයි. හැන්දෑ කලුවර ගලා එන විට ඇය සුපුරුදු නාගස මුල වාඩිවෙන්නේ අඳුරු ගුරුපාර තුලින් ඔහුගේ රුව මතුවන තුරු පාරමීදම් පුරන්නටයි. අඳුර තුලින් කිසියම් රුවක් මතුවන සෑම විටෙකම ඇයගේ සැනසුම් සුසුම වාතලයට මුසු වුනද, ඒ රුව තමා පැතූ රුව නොවන වග දැනගත් විට මුදාහල සුසුම යලිත් ගෙන ඇය හදවතෙහි තබා ගත්තා. වෙලාව රාත්‍රී නවය පමණ වනතුරු ඇයට ඇවිලෙනා කුසගින්නත්, දරාගත නුහුනු පාළුවත් තුරුලු කරගෙන මදුරුවන් සමඟ පොර බඳිමින් දෑස් වෙහෙසවන්නට සිද්ධ උනා. අවසානයේ ඇගේ සඳ පායා ආවා. දකුණතින් ගත් සිලි සිලි මල්ලත් සමඟින් අඳුර තුලින් ඔහුගේ රුව මැවී විත් ඇගේ පාලු ලෝකය දවසකින් නිමා කලා. ඔහු ඇය අසලට පැමිණ ආදරයෙන් ඇයව වත්තන් කරගෙන නිවස තුලට ගියේ සිලි මල්ලෙහි වූ පාන් රාත්තල ඇය අතට දෙමින්. මහානර්ඝ වස්තුවක් මෙන් එය ඇය සිය ළමැදට තුරුලුකොටගත්තේ බුර බුරා නඟින කුසේ ගින්දරට එය දිව බොජුනක් මෙන් ඇයට දැනුනු නිසාවෙන්මයි.

දෙදෙනාම එක්ව සීනි දමා ප්ලේන්ටි දෙකක් හදාගත්තේ කහට කෝප්පේ පොඟවා පාන් කෑමෙ දොළදුකක් ඈට තිබූ නිසා නොව පාන් සමඟ කෑමට වෙන කිසිදු දෙයක් ඔවුන් සතු නොවූ නිසායි. එනිසා සාදාගත් තේ කෝප්ප දෙක සමඟ ඔවුන්ගේ දුප්පත් කාඩ්බෝඩ් පෙට්ටි මේසය දෙපස වාඩි වූයේ මොහොතකින් කුසට දැනෙන සොඳුරුතම මිහිරියාව උපරිමයෙන් ලබාගන්නට කෑදර කමිනි. පාන් කෑල්ලක් ඒ සඳහා ඔවුන්ට වූ දිව බොජුන විය. එහෙත්...එහෙත්... දෙකට කඩාගත් පාන් රාත්තල තිබුනෙ නරක් වෙලා. ඒක පුස්කාලා. මෙවර නම් තවදුරටත් කඳුලු සඟවා ගැනීමට මේ හයිය දෙහිතටම පුලුවන් කමක් තිබුනෙ නෑ.

ජීවිතයේ ප්‍රථම වතාවට දරාගත නොහැකි වූ ශෝකයෙන් දෙදෙනා එකිනෙකාව වැළඳගෙන දුක දියවී යනතුරු හඬා වැටුනා. කහට කෝප්පයකින් ඒ රාත්‍රියද ගෙවා දැමීමට ඔවුනට සිද්ධ වුනා..

කාලය මේ විදියට ගත උනා. ඇගේ තනි නොතනියට දයාබර මෑණියන් පැමිණීමත් සමඟ තිබූ දුෂ්කරතා තරමක් මැකී ගියා. දිව පිනවන රස මසවුලු ඇගේ කුසට නැතිවුනත් ඇය ඉතා නීරෝගීව සිටියා.

ඇය තම කුළුඳුල් දරුවා බිහිකිරීමට ගමට ගියා. වතුපිටිවල ඉස්පිරිතාලෙ අනෝරා වැහි වැටෙන නවම් මහේ දිනයක, හීතල හිමිදිරි සඳු දින පාන්දරක ඇය මවු පදවිය ලැබුවා. සුදුම සුදු ලස්සන කොලු පැංචෙක් ඇයට හිමිවුනා. මේ දයාබාර කොලුපැටියගේ තාත්තා නැතිව ඇයට ගොඩක් කල් ඉන්න බැරි නිසාම ඇය වැඩිකාලයක් ගමේ නොරැඳි ආයෙමත් මහියංගනේට එනවා. එදා තරම්ම දුක්බර නැතත් අලුත් ජීවිතෙත් සමඟ ඔවුන් හරි අගේට ජීවන සටනට මුහුණ දෙනවා. 

එදා නුරා බැලුම් හෙලමින් තමන් සමඟ කෝලම් කල ඇය අද බොහෝම දයාබර බැල්මක් ඔහුවෙත හෙලනවා. ඇගේ දෑස් පුරා දාරක සෙනෙහස උතුර උතුරා ගලාහැලෙනවා. ඔහු ඒ දෙස බලමින් තම සිත අතීතයේ අඳුරු අහුමුලු කරා ගෙනයනවා.. 


"පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා"
-------------------------
පද රචනය -  පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව 
සංගීතය     -  සුනිල් සරත් පෙරේරා 
ගායනය     -  පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව


ගීතය මෙතනින් download කරගන්න...
(Pera Dinayaka Maa - W.D. Amaradewa)



පසුව ලියමි

මේ සටහන කියවා නිමකල ඔබට සමහර විටෙක සිතෙනවා ඇත මේ නම් මනෝෂ්ගෙම කතාව කියලා. ආයෙ සැකයක් තියාගන්නෙපා. ඔව්.. මේ මගේම කතාව තමයි. මගේම අම්මගෙයි, තාත්තාගෙයි ඇත්තම කතාව තමයි මේ. අතින් දාපු දේවල්, අත්තැරල දාපු දේවල් නෑ මේ කතාවේ. සෘණ අනන්තයෙන් පටන්ගෙන ධන අනන්තය දක්වා ජීවීතේ අරං ගියපු සාර්ථක මිනිස්සු ගැන කතන්දර හොයාගෙන මං කවදාවත් රට වටේ යන්නෙ නෑ. ලෝකෙ පුරා හොයන්නෙ නෑ. මොකද ඒ සඳහා ජීවමාන ආදර්ශය මගේ ඇස් පනාපිටම තියෙන නිසා. මං දැක්ක හොඳම සාර්ථකත්වයේ කතාව තමයි මගේ අම්මගෙයි තාත්තගෙයි කතාව.

රුපියල් තුන්සීයකුයි ඇඳුම් බෑග් එකකුයි අතින් අරං මහියංගනෙන් බැහැපු මගේ අම්මයි තාත්තායි අවුරුදු විසිහයකට පස්සෙ අද මේ පිං බිමේ ලබලා තියෙන සාර්ථකත්වය තමයි මගේ ජීවින ගමනෙ පරමාදර්ශය කරගන්නෙ මං. අද එයාලට ලබාගන්න තවත් දේවල් මහ ගොඩක් නෑ. හැම අතින්ම අංග සම්පූර්ණව ඉතාම ලස්සන ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ උත්සාහයේ, කැපවීමේ, ධෛර්‍යයේ සහ අපරිමිත ආදරයේ අග්‍රතම ඵලය. 

ඒ සාර්ථකත්වය මත හිඳිමින් අද මේ සටහන ඔබට පුදන්නට මට හැකියාව ලැබිලා තියෙනවා, ගෙවුන දුශ්කරම වූ කාල පරිච්චේදයන් දෙස හූල්ලමින් බලමින් නොව, දැඩි ආදරයෙන් උපේක්ෂාවෙන් ඒ දෙස බලමින්. ඇත්තටම මුලින්ම මට ඕනි උනේ මේ ගීය ගැන යමක් ලියන්න නෙවෙයි. ලියන්න කල්පනා කලේ "රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ" ගීතය සම්බන්ධ කරල ලස්සන කතාවක්. මුලින්ම හිතුවෙ අසරණ වුන අම්මා කෙනෙක් සහ පුතෙකු දෙස බලා හිඳින තුන්වෙනි පාර්ශ්වේක ඉඳිමින් කතාව ලියන්නයි. ඊළඟට හිතුනා ඒ අම්මට හිතෙන විදියට කතාව ලියන්න.

අන්තිමට හිතුනේ, කවදහරි උස් මහත් වෙච්ච මේ ගීතයේ පුතණුවන්ම තම අතීතය සිහිපත් කරන අයුරින් කතාව ලියන්නයි. ඒ පාරෙන් කතාව සිත තුල ගොඩනගාගෙන යනකොට මට හිතුනෙ දෙයියනේ මේ මගේම කතාව නේද කියලයි. ඒ නිසා තීරණය කලා මේ මගේම කතාව ලියන්න. හද පතුලෙන්ම නැඟෙන අවංක සිතුවිලි ලියන්න. ඉතින් ඒ කතාව මුලක ඉඳලම පටන්ගත්තා. ඒත් හිතුවට වඩා බොහොම දීර්ඝ උනා.  ඒනිසා විරාමයක් තැබීමට සුදුසු අවස්ථාවක් මට ලැබුනා, එතනටම ගැලපෙන හරිම අපූර්ව ගී පද රචනයක් සමඟින්ම.

ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මගේ මුළු ජීවිතයම හරිම ලස්සන ගීතයක් වෙලා කියලා...

ඉදින් ප්‍රිය සබඳ.. මේ මෙම කතාවෙ අවසානය නොවෙයි. විරාමයක් පමණි. නුදුරු දිනෙකම ආයෙමත් මුණගැහෙමු.

මේ ගීතය පිළිබඳව ධම්මික බංඩාරයන්ගේ විචාරයක් මීට පෙර මං ඔබටගෙන ආවා. යළිත් කියවනවානම් හෝ මඟහැරුනානම්..
මෙතනින් යන්න.