Pages

Sandumal

Sandumal

Sunday, March 29, 2015

•හොඳින්, බැරිනම් නරකින්..


"නුඹට හැකිවෙද.. සුදු නෙලුමක් වී පිපෙන්න..."

මිනී කන කැනිබලුන්
පිරී ඇති නිම්නයක
නුඹව අතහැර ගොසින්..

ලේ ගඳට ඉව කරන
දත් සපන..බුරන..
ගොරවන...
උන්ගෙ මුඛයෙන් නැඟෙන
කුණු මිනී ගඳ පරයන්
නුඹට හැකිවෙද
සුදු නෙලුමක් වී
පිපෙන්න...

වරක් හැකිදැයි බලන්න
තව වරක් හැකිදැයි බලන්න..
නොහැකිනම් ගඳ පරයන්න
නොවී උන්ගෙන් එකෙක්
නොවී තව කැනිබලෙක්..
මරාගෙන මියයනු
සබඳ නුඹ..
සිංහයෙක් වී
දෙරණ සොලවන...

Sunday, March 22, 2015

•වැහි ලිහිණියනේ

"දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..."

වැහි ලිහිණියනේ විදු බිමට උඩින්
වැහි කඳුලු මැදින් දුර පියාසලන්
පෙම් සිතක පැතුම් දුර ඈත ඉඳන්
ගොස් රැගෙන එන්න හැකිවෙයිද ඉතින්..

නුහුරු රටේ මම තනිව හිඳිම්
පුරුදු රටේ ඈ සුසුම් මැදින්
දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතින්
අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..

මේ සිරිපොද මැද අප ගියපු ගමන්
සිහිකරන් හිඳිම් නුඹ ගොසින් වරෙන්
වැහි අඳුර මැදින් ඇගෙ සුසුම් පවන්
සැනසුම් බිඳුවක් නුඹ අරන් වරෙන්..

Monday, March 16, 2015

• සිහිනයක්..

අඬගසයි මට අඬගසයි.. ගිම්හානයක සිට අඬගසයි...

ගිනි හුලන් හමා යන
මද්දහන ගිනි ගහන..
සියඹලා මැයි මාර
වදුලකින් සෙවන උන..
තක්සලා මාවතක්
සිහිනයක ඇඳ තිබේ..

දුෂ්කරම පාසලක
අහිංසක මල් කැකුලු..
පංතියක කොට බිත්තියෙන්
එබි එබී බලනයුරු..
නොදුටු ලෝකයක අරුමැසි..
මැවි මැවී නෙත් පුරා
පුබුදවයි මගේ හද..
දිනක් එනු ඇත
මමද එහි යන..

ගඩා ගෙඩි සියඹලා
අඹ දිවුල් වැල වරකා..
දහදියට එකතු වූ
ඒ කැලෑ මල් වලින්..
හමා එන සුවඳකැන්..
හද පුරා විඳගන්න
පාරමී පුරමි මම..

බොර පාට කමිසයයි
ඉරුණු නිල් කලිසමයි..
ගොවි බිමේ උදැල්ලෙන්
තිලිණ ලද කරගැටයි..
මහ පොලොවෙ පය ගැටී
ගල් තැලුණු පා යුගයි..
හා එක්ව එකට යන
අව්‍යාජ නුඹෙ සිතයි..
අඬගසයි මට අඬගසයි..
ගිම්හානයක සිට අඬගසයි...

ඉඩ හසර ලද ඉසිඹුවක.. කඩිසර ජංගමයෙන් අසීරුවෙන්.. නුහුරු කවි බසක පෙරහුරුව..