Pages

Sandumal

Sandumal

Wednesday, April 30, 2014

•අපි ඈතට ඈතට පා නගලා

"නැත ලොවේ අන් රසඳුනා... ආදරේ සේ සුවදෙනා..."






මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතින් නිමැවුණු මේ වැකිය ආදරය ගැන ලියැවෙන බොහෝ අවස්ථාවල නිබඳ ම සිහිපත් වේ. ආදරයක දිග පළල ගැඹුර සොයන්නට තැත් කිරීම විශ්වයේ කෙළවර සොයන තරමට ම සංකීර්ණ ය. අවසාන තීන්දුව වන්නේ ආදරය යනු ආදරය ම මිස අනෙකක් නොවන බවයි.

ආදරය කරන්නන් මිහිපිට පය ගසා සිටින බව සැබෑවකි. එහෙත් ඔවුන්ගේ සිතුවිලි අහසේ සැරිසරයි. නිල් වළාකුළු කඳු වැටි අතරින් පාවී ඉර හඳ තරු අතරින් විශ්වයේ අනන්තය තෙක් පාවී යයි. ඔවුහු ලෝකයේ සියලු භෞතික වස්තූන්ගෙන් වෙන්වී තමන්ගේ මනෝලෝක තුළ කූඩුවෙති.

සාගරයේ ජලය නිමා නොවන්නාක් මෙන් ආදරය පිළිබඳ වස්තු බීජ නිමා නොවන්නේ එබැවිනි.

මේ ගීතයට පාදකවන්නේ ද පෙම්වතුන්ගේ රොමැන්ටික් සිහිනයකි. තමා පයගසා සිටින ලෝකයේ, ගල් බොරලු වැටකඩොලු සීමා මායිම් තැනෙද්දී ඔවුහු පියවි ලොවින් ඈත් වීමට ආශා කරති. ඔවුන් ප්‍රාර්ථනා කරන ලෝකය අතිශයින් මනරම් ය. රචකයා ඒ සිහිනය මෙසේ ස්පර්ශ කරයි.


"අප ඈතට ඈතට පානඟලා
ගන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..."


ආදරයෙන් පිරීගිය අයට ගමනක නිමාවක් අවශ්‍ය නොවේ. සුන්දර ස්ථානයක් නම් එහි අතරමං වීම ද ඔවුනට සැපයකි. ඔවුන් අතරමං වන්නේ කටුලැහැබක නොවේ. රමණීය වූ වසන්ත මල්ගොමුවකයි. එය ඔවුනටම සීමා වූ ප්‍රේම පාරාදීසයකි. මේ ප්‍රේම පාරාදීසයේ සුරක්ෂිත බව රචකයා පදමාලාවට ගොනු කර ගනී. ඒ සුරක්ෂිත බව වූ කලී ප්‍රේමවන්තයින්ගේ සැබෑ මනෝ භාවයයි.


"කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේ ම පුංචි ලෝකයේ 
අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට 
ළඟ ඉන්නේ.."


සිහිනය වූ කලී යථාර්ථය නොවේ. යථාර්ථය කටුක වූ කල මිනිසුන් සිහින කරා පිය නඟයි. සිහිනය සිහිනයක් බව වටහා ගත හැකි නම් සිහින දැකීම වරදක් නොවේ. මේ පෙම්වතුන් බියවන්නේ කුමකට ද? ඒ වෙන කුමකටවත් නොව රුදු මිනිස් ඇසටයි. කේලාම් ඕපාදූප, චෝදනා, සියල්ලට ම මග පාදන්නේ මේ රුදු මිනිස් ඇසයි. මිනිස් ඇස ගැටුනොත් ඔවුන්ගේ ප්‍රේමයට තහංචි පැනවෙනු ඇත. එවිට ඇතිවන සංවේදනා ඔවුනට දරාගත නොහැකි වනු ඇත. එවැන්නකට මේ පෙම්වතා සූදානම් නැත. ඔහු අවට ලෝකයට වෛර නොකරයි. අවෛරී ලෙස සතුරු ලෝකයෙන් ඈත්වන්නට තීන්දු කරයි. මට නන්දා මාලිනියගේ ගීයක් සිහිවෙයි.


"මේ සිර මැදුරෙන්
පැනයන්නට ඇත්නම්
මේ මුර සෙබලුන්
එළවන්නට ඇත්නම්
පවුරු වළල්ලෙන් එහා රටේ
අප දෙන්නා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින්.."

(Me Sirameduren - Nandamalini)


මෙහිදී ප්‍රේමවන්තිය සමාජයට අභියෝග කරයි. එහෙත් මේ නිර්මාණයේ පිළිබිඹුවන පෙම්වතා සමාජයෙන් පළායයි. එය සුන්දර පළායාමකි.

මුහුදු වෙරළ මල් උයන ප්‍රේමවන්තයන්ගේ පාරාදීසයන් ය. ඒ සොඳුරු පාරිසරික පසුබිම් ඔවුන්ගේ හදවත් කිතිකවා ඔවුනට ම උරුම ලෝකයක සිරගත කරනු ලබයි. එහෙත් මේ ප්‍රේමවන්තයන්ට ඒ සුවය විඳින්නට නොහැකි ය. හතරවටින් උකුසු දෑස් ඔවුන් වෙත එල්ල වී තිබේ. එසේ නම් මේ අනාරක්ෂිත සීමාවෙන් ඔවුන් පළා යා යුතු ය.



රචකයා මේ ස්පර්ශ කරනුයේ සිතුවිල්ලක් පමණි. ඒ සිතුවිල්ලෙන් නවයොවුන් ප්‍රේමය හා ඒ ඉදිරියේ ගොඩනැඟෙන බාධක සිහිගන්වනු ලබයි. මේ අදහස ම සුනිල් ආරියරත්නයන් විසින් සනත් නන්දසිරි ගාන්ධර්වයා විසින් ගයනු ලබන ගීයකට මෙසේ පද ගොනු කර තිබේ.


"ආලයට මඟ වැටී ඇත්තේ
මල් විමන් අතරින් නොවේ
පෙම්වතුන් යන මං පෙතක් මැද
මල් පිපී තිබුණේ ද කිසිදින"
(සුනිල් ආරියරත්න)


මේ ගී පද තවදුරටත් ආලෝකවත් වන්නේ වික්ටර් රත්නායකයන්ගේ සංගීතය හා ගායනයෙනි.

"අපි ඈතට.. ඈතට පා නගලා.."

සංගීතඥයා තම ස්වර රටා මඟින් රසිකයා ද ඈතට ඈතට කැඳවාගෙන යයි. වික්ටර් රත්නායක නැමැති ගායකයා මතු වූ නිසා ම එතුමන්ගේ තනු පිළිබඳ කතිකාවතක් ගොඩ නොනැඟුණු බව මගේ හැඟීමයි.
අනාගතයේ හෝ වික්ටර් රත්නායක නැමැති සංගීතඥයා පිළිබඳ ව පුළුල් කතිකාවතක් ගොඩනැඟෙන බව මගේ විශ්වාසයයි. ගුණදාස කපුගේ ද තනු නිර්මාණකරුවකු ලෙස කතා බහට ලක් නොවූ අපූරු තනු රචකයෙකි.

වර්තමානයේ ඇසෙන බහුතරයක් ප්‍රේම ගීත තාච්චියේ බැදෙන පපඩම් වැනි ය. දින කීපයකින් පොඩි පට්ටම් වන ඒ ගීත ඉදිරියේ මෙබඳු ගීත මැණික් පහන් සේ බබළයි. ප්‍රේමය පවතිනතාක් මෙබඳු ප්‍රේම ගීත අප අතර නොනැසී පවතිනු ඇත.


"අපි ඈතට ඈතට පා නගලා
ගන වනන්තරේ
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ


කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේ ම පුංචි ලෝකයේ අප ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ


කෙසේ ද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑ හිත මිතුරන් මගතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙළෙස ද ගැලවෙන්නේ.."

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


(Api Athi Athata Paanagala - Victor Rathnayake)







(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූප අන්තර්ජාලයෙනි.)


**********************************************************************


ප්‍රේමවන්තයින්, ප්‍රේමවන්තියන් සොඳුරුතම පාරාදීසයකට කැඳවාගෙන යන මෙම ගීතය අසන විට මගේ සිත නම් එවන් පාරාදීසයකට නොයන අතර ඒ වෙනුවට හිතට දැනෙන්නේ කළකිරීමකි. හේතුව නම් "මගෙ දුවේ ඔබ අවදියෙන් නම්" ගීතයේ මෙන් මෙම ගීතයේ මේ විස්තර කරන සුන්දරත්වය විඳීමට අවකාශයක් කිසිවෙකුට නොහැකි වීමයි.

විශේෂයෙන්ම ලංකාව වෙනි රටක ප්‍රේමය කියන සංකල්පය පුරාම පවතින විරෝධාකල්පයන් නිසා පෙම්වතුන්ට තම ප්‍රේමණීය හැඟුම් සිත් තුල සිරකරුවන් කොටගෙන කෘත්‍රීම ව රොබෝවන් සේ පෙම්කිරීමට සිදුව ඇත.

ලාංකීය සංස්කෘතික මූලධර්මවාදීන්ට අනුව පෙම් කිරීම සාපරාධී වරදකි. කුදලගෙන ගොස් හිරේ දැමීමට තරම් වරදකි. එමෙන්ම ලංකාවෙ පෙම් කර ඇත්තේද වර්ථමාන තරුණ පරපුර පමණි. අනිත් සියලුම පත්තිනි අම්මලා සහ උපාසක තාත්තලා කවදාවත් ප්‍රේම කර නොමැත. ආදර ගැන දන්නෙවත් නොමැත. ඔවුන් තමන්ගෙ දෙමවුපියො හොයල දුන්න ඕනි පොල් පිත්තක් කසාද බැඳ ගත්තෝ වූවෝය. ඒ මේ රටේ හැටිය.

කොල්ලෙක් කෙල්ලෙක් බස් නැවතුමක කතාකරනව දැක්කොත් අර කීව අයට එය ඇස්වල කටු අනින්නාක් මෙනි. අනේ අපොයි කියා කම්මුලේ අත තබා ගනිති. නමුත් ඔවුන්ගේ පරන රෙද්දක් අරන් බැලුවොත් තුත්තිරි ගෝනි ගනන්ය. වෙරළක් අයිනේ යුවලක් සිටියොත් ඔවුන්ව කුදලගෙන ගොස් කූඩුකරන්නට පොලිස් නිළදරුවන් වැටකේ පඳුරු අස්සේ සැඟවී කුරුමානම් අල්ලති. එක අතකින් මේ කේතුමතී නුවර පොලිසියට අල්ලන්නට තරම් හොරකමක්, මැරකමක්, දූෂනයක් ගැන අහන්නටවත් නොමැති නිසා මෙවන් "රාජකාරි" හැර පොලිසියට සාමාජය වෙනුවෙන් කිරීමට වෙනත් රාජකාරියක් නැති නිසා මෙහි වරදක් කීමටද නොහැක! පෙම්වතුන් මුවා විය යුත්තේ කේලමුන්ගේ දෑසින් පමණක් නොව. ඔවුන් නීතියෙන්ද මුවා විය යුතුය.(පෙම් කිරීම නීතියෙන් වරදක් බව කිසිම නීති පොතක නොමැත. නමුත් පොලීසියේ නීතිය අම්මගෙ නීතියකි.)

නමුත් අරුමය නම් මෙතරම් ගැරහුම් ප්‍රේමය සමාජෙන් ලැබුවද, සියලු සෞන්දර්‍ය්ය නිර්මාණ නිර්මාණය වී ඇත්තේ ප්‍රේමය තුලින් වීමය. බස් නැවතුමක් පෙම් කිරීම වැරදිය. නමුත් සියලු දෙනා කෙල පෙරාගෙන "මේ බස් නැවතුම පෙර හැම දිනකම" ගීතය රසවිඳිති. දෑස් කඳුලින් තෙමා ගනිති. ගහක් යට මුමුණමින් සිටීම ලැජ්ජා නැති කමකි. ඒත් හැට පැන්න හොට බිම ඇණුන නාකි, මිල්ටන්ගේ "මේ මැයි ගහ යට" තනි වෙති. මේ කීවෙ උදාහරන ඇබින්දකි. මේ මෙම මුතු ඇටයේ ජනතාවගේ හැටිය. ඔවුන් ස්ව්භාවයෙන්ම කුහුකය. සත්‍ය එයයි.

මෙවන් වාතාවරණයක් යටතේ සියලු දෑස්වලින් වසන්වීමට ගීතයේ ආකාරයේ පාරාදීසයක් මේ මිහිමත නොමැති හෙයින් හෝටල් කාමරයක් තුල ඔවුන් තමන්ගේ පාරාදීසය මවා ගනිති. මෙයින් ඇරඹෙන සමාජ ඛේදවාචයක පිළිබඳ ඔබත් සමඟ සාකච්ඡා කිරීමට මම මෙය අවස්ථාවක් කරනොගනිමි.

එහි අනිටු ප්‍රතිපල වර්ථමානය හොඳින්ම විඳින ආකාරය ඔබටත් මටත් නිතර අසන්නටත් දකින්නටත් ලැබෙන දෙයකි.

ඉතින් මේ ආරාධය ඔබටයි. එන්න දයාබර රසවතුනි රසවිඳින්න මේ ගීතයත්. සැබෑ ලොව තුල ප්‍රේමයට හිමි නැති මේ සොඳුරුතම ලෝකයේ තනිවෙමු අපි මොහොතක්..



Sunday, April 27, 2014

•සෙනෙහසකට අරුතක් පුරවන්නට


"අකාලේ මියගිය සෙනෙහසේ ගීතය..."






මගේ සිත මීට වසර තිස්එකක් තරම් ඈතට දිවයයි. සාමාන්‍යය පෙළ විභාගයෙන් සමත් ව මම උසස් පෙළ විද්‍යා අංශය තෝරාගෙන සිටියෙමි. කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ මම විද්‍යා අංශය තෝරාගැනීම පිළිබඳ ව පශ්චාත්තාප වෙමින් සිටියෙමි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට යාබද ව දෙමහල් විද්‍යාගාරයක් පැවතිණි. එහි බිම් මහලේ කොරිඩෝව විවිධ දැන්වීම් පුවරු සඳහා වෙන්වී පැවතිණි. මේ කොරිඩෝව දිගේ යමින් සිටිය දී මගේ මිත්‍රයකු මගෙන් පැනයක් ඇසීය.

"උඹ ප්‍රණීත් අයියා දන්නවද?"

ඔහු ප්‍රශ්න කළේ පාසලේ ජ්‍යේෂ්ඨ සිසුවකු පිළිබඳවයි. පැසිපන්දු ක්‍රීඩාව ගැන පමණක් තදින් සිත යොමා සිටි මා මිත්‍රයාට පැවසුවේ නොදන්නා බවකි. ඉන්පසු දැන්වීම් පුවරුවක් ළඟට මා කැඳවාගෙන ගිය මගේ මිත්‍රයා එහි සවිකර තිබූ කවි පෙළක් මට පෙන්වීය.

"ආට් එකේ අයියා කෙනෙක්, ලස්සනට කවි ලියනවා..."

එකල කවි ගැන මට උනන්දුවක් නොතිබුණු බැවින් මම "ආ එහෙමද?" යනුවෙන් පැවසීමි. ඉන්පසු පන්ති කාමරයේ දී මගේ මිත්‍රයා පොත් අතරින් කාන්තා පුවත්පත් පිටුවක් ගෙන පෙන්වීය.

එහි ද ප්‍රණීත් අභයසුන්දර නම් වූ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයා ගේ කවි පෙළක් දක්නට ලැබිණි. විද්‍යා විෂය ගැන කලකිරී සිටි මට කලා ශිෂ්‍යයන් ගැන ආදරයක් ඇති විය.

පසුව විද්‍යා විෂයයන් අතහැර කලා විෂයයන් තෝරා ගැනීමට මෙවැනි සිදුවීම් ද හේතු වූවා පමණක් නොව ප්‍රණීත් අභයසුන්දර යන නම ද මා තුළ නොමැකෙන ලෙස සටහන් විණි. ඉන්පසු මා ඔහුව දුටුවේ “ජෝන් ද සිල්වා” සමරු රඟහලේ "අහෝ මිත්‍රවරුනි" නමින් මා කවිපොතක් එළිදක්වන අවස්ථාවේදීය.
ඉන්පසුව වරක් දෙවරක් කතාබහ කරන්නට අවස්ථාව ලැබුණ මුත් අප අතර ඇසුරක් නොවිණි. එහෙත් මේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයා කීර්තිමත් ගීත රචකයකු වූ ආකාරයත් සරසවි ඇදුරකු වූ ආකාරයත් කීර්තිමත් විද්වතකු වූ ආකාරයත් මා පසෙකට වී බලා සිටියේ පාසල නිසා උපන් නිහඬ ආඩම්බරයකිනි.

ඔහු ලියූ ගීත රචනා අප්‍රමාණ ය. මා අද මේ ගීතය තෝරාගත්තේ, ඊයේ හවස මට කලකට පසු මේ ගීය අසන්නට ලැබූ බැවිණි.

"සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී..."



හදවත උපන් ආදරයේ නාමයෙන් එකවහළක් යටට එක්වීමට පෙරුම් පිරූ පෙම්වත් යුවළකගේ අහඹු දුරස්වීමක දෝංකාරය මේ පදමාලාව තුළ අන්තර්ගත ය. ආදරයෙන් එක්වීමට ඔවුන් ගත් අසීමිත උත්සාහය, "අහසේ තරු ගැන්නා... මුහුදේ රළ මැන්නා" වැනි ප්‍රකාශයන්ගෙන් රචකයා දැනුම්වත් කරයි. ජීවිතයේ සදාකල් එකට ගමන් කිරීමට, අහසේ තරු ගණින, මුහුදේ රළ මනින පෙම්වතුන් කොතෙක් වේද? එහෙත් ඔවුහු සක්වාලිහිණින් මෙන් අවසානයේ දෙතැනක තනිවෙති.

මට මේ මොහොතේ ගී පදමාලා කීපයක් ම සිහිවේ. ආදරය සමඟ මුසුවන කඳුළ මෙන් ම ඒ මඟින් උරුමවන අප්‍රමාණ දුක් කන්දරාව ඒ නිර්මාණ තුළ ගැබ් ව පවතී.

"චේතනා පරිශුද්ධ වූ වත්
පෙම් සටන් පරදී
අසාධාරණ හැගුම් කැටිවුණු
කුරිරු මිනිසුන් වෙසෙන ලෝකෙක
චේතනා පරිශුද්ධ වූවත්
පෙම් සටන් පරදී.."

(Chethana Parishudhdha Wuwath - Sanath Nandasiri)


"පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ
කඳුළෙන් ජල කඳ සැදුණේ
සුසුමෙනි රළ නැඟුණේ
පෙම්වතියෝ..."

(Pemwathiyanne Pemwathiyanne - Anjalin Gunathilake)



"කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු
කඳුළෙන් කටු මත විෂ තිබුණා
බිඳුණොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතු වී තිබුණා.."

හදවතේ ආදරයේ කැකුළ මෝදුවන විට ම නටු අග කටුවල විෂ දැනෙන්නට පටන්ගනියි. ඒ පෙම් කැකුළ පෙති විදහා විකසිත නොවන්නේ ඒ විෂ නිසා ය. ඒ නිසා ම ඒ නැවුම් ආදරය නැවත යා කළ නොහැකි බිඳෙන බඳුනක් බවට පත්වෙයි. පිරූ පාරමි දම් ගඟට කැපූ ඉනි බවට පත්වෙයි. මෙය සංසාරයේ කළ අකුසල් පලදීම විනා වෙන කුමක් ද?

"පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා.."

මෙහි හැඟීම්බර ම ප්‍රකාශය වන්නේ අවසාන ප්‍රකාශයයි.

"මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා..."



මේ ප්‍රේමයේ දිග්විජය ලැබීමට පෙම්වතා ගත්තා වූ අපරිමිත උත්සාහයත් එහෙත් ඇය දිනාගැනීමට ඒ හැම අවස්ථාවේදී ම ඔහුට නොහැකි වූ ආකාරයත් ඒ මඟින් හැඟීම්බර ව ප්‍රකාශ වේ.

අසංග ප්‍රියමන්ත පීරිස්, මඟ වරදාගත් ගායකයකු වුවද මේ ගායනයේ දී ඔහු ගේ පැරණි ප්‍රතිභාව නැවත නැවතත් ඉස්මතු වෙයි. අසංගගේ හඬ හා ගායන ලාලිත්යය, වෙළෙඳ රැල්ලෙන් එහා යා හැකි හඬ පෞරුෂයකි. ඔහු එයින් ප්රයෝජන ගන්නා බවක් නොපෙනේ. එහෙත් තම ගීත චාරිකාවේ මතක සටහන් රැසක් ඔහු අපට ඉතිරි කිරීමට තරම් කාරුණික වී තිබේ. මේ ගීතය ඒ අතරින් එකකි.

මහින්ද බණ්ඩාර නිර්මාණශීලී සංගීතඥයෙකි. එහෙත් ඔහුට ද ඒ ගමන යාමට උවමනාවක් ඇති බවක් නොපෙනේ. නැතිනම් ඔහුට ලැබෙන පදමාලා ඔහුට යමක් කළ හැකි නිර්මාණ බවට පත්වන අවස්ථා විරල විය යුතුය. එහෙත් මේ ගීතයේ දී මහින්ද බණ්ඩාර නැමැති ශිල්පියා ඉක්මවා සංගීතඥයා ඉස්මතුවේ. ලිපිය අවසන් කිරීමට පෙර සුනිල් ආරියරත්නයන් ගේ පදමාලාවක අවසන් වචන පෙළ මෙහි තැන්පත් කරමි.

"ආලයට දිවි පිදූවන් මිස
ආලයෙන් ජය ලැබූවන් නැත
කඳුළකින් තොර පෙම් කතාවක
සටහනක් හමුවේද කිසිදින..."










(Senehasakata Aruthak Purawannata - Asanka Priyamantha Peries)







***************************************************************************


ධම්මික බංඩාරයන් විසින් විචාරය කරන ලද අද මා ඔබ හමුවට ගෙන ආ මෙම ගීතය ප්‍රේමයේ විරහ වේදනාවෙහි කටුක රසය විඳගත් සුවහසක් ප්‍රේමවන්තයන්ගේ හා ප්‍රේමවන්තියන්ගේ හදවතෙහි ගැඹුරුම තැන් ස්පර්ෂකොට හොර රහසින් හෝ නෙතට කඳුලක් ගෙන එන වඩාත්ම සංවේදී ගීතයක් වනවාට කිසිදු සැකයක් නැත. 

අමරණීය වූ ප්‍රේමයක නටඹුන් අතර සක්මන් කරන්නෙකුට මෙම ගීතය ඇසෙන වාරයක් පාසා තමන්ට අහිමි වූ මහමෙරක් තරම් වූ ප්‍රේමය සහ එය පරිස්සම් කරගැනීමට නොහැකිවීමෙන් හිතෙහි හටගන්නා විස්සෝපයතුලින් හටගන්නා කටුකතම වේදනාවේ "මිහිරියාව" අලුත් වන බවයි මගේ නම් හැඟීම.

විරහ වේදනාවන්ගෙන් තොරවූ සදාතනික සෙනෙහසින් බැඳුනු යුවලකට වුවද, මහා පාලු ශෝකී ස්වරයකින් ගැයෙන මෙම ගීය සවන් වැකෙන විටෙක තමන්ගේ ප්‍රේමය පිළිබඳ වුවද අනියත බියක්, ශෝකයක් ජනිත කිරීමට තරම් සමත් වන අති විශිෂ්ඨතම විරහ ගීයක් ලෙස මගේ ගී මතක පොතෙහි මේ ගීතය ඉතා සුරක්ෂිතව මා තබාගෙන ඇත්තේ එහෙයිනි.

ගීතය ගැන නැවත නැවතත් යමක් කීමට උත්සාහ නොගන්නේ "රාත්තල් තුල අරුක්කාල් ගසා" ඉහත මනරම් ගී විවරණයේ සුන්දරත්වය නැතිකල යුතු නැති නිසාවෙනි. ගීතය පිළිබඳ මගේ හැඟීම, මගේ හදවතට ගීතය දැනුන හැටි පමණක් ඔබට පවසා මම මෙතෙකින් මගේ ලිවීම හමාර කරන්නෙමි. ඉතිරිය මගේ දයාබර බ්ලොග් සහෘදයන්ට බාරයි. එන්න, වෙනද වගේම අපි අපේ අදහස් බෙදාගමු. ඔබට හිතෙන දේ, හදවතට හැඟෙන දේ අකුරු කරන්න මෙසේ අරාධනා කරන්නෙමි..

(ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙනි.)




Thursday, April 24, 2014

•රෑ වැඩ මුරය අවසන්වන කණිසමට

"ඇඳුමද නුඹේ ජීවිතය ද මහන්නේ..."






අසූව දශකය ආරම්භ වන්නේ සිංහල විරෝධාකල්ප ගීතයට මංපෙත් සකස් කරමිනි. නන්දා මාලිනියගේ "සත්‍යයේ ගීතය" ගුණදාස කපුගේ ගේ "කාලයේ රාවය" නැවත නන්දා මාලිනිගේ "පවන" වැනි ඒක පුද්ගල ප්‍රසංග සිංහල ගීතයේ පෙරළිකාර ප්‍රසංගයන් ලෙස හැඳින්විය හැකි ය. 



මේ වාගේ අන්තර්ගත නිර්මාණ පිළිබඳ සංවාද විසංවාද පැවතියද විවෘත ආර්ථිකයේ ඇතැම් අතුරු ප්‍රතිඵල පිළිබඳ නිර්දය විවේචනයන් ද අභියෝගාත්මක ප්‍රකාශනයන් ද මේ නිර්මාණ ප්‍රසංග තුළ අන්තර්ගත විය. එහි ගුණ අගුණ කෙසේ වෙතත් දැන් ඒ යුගය ඉතිහාසගතවී අවසන් ය.


ඇඟලුම් කර්මාන්තය බිහිවන්නේ ද විවෘත අර්ථ ක්‍රමයේ ඍජු ප්‍රතිඵලයක් ලෙසිනි. විරැකියාව ඔඩු දුවා තිබූ අවදියක ග්‍රාමීය තරුණ තරුණියන්ට රැකියා සැපයීමට මෙය ඉතා කදිම අවස්ථාවක් විය. නිදහස් වෙළඳ කලාප කටුනායක ප්‍රමුඛ ව බොහෝ ස්ථානවල ඉදිවන්නට විය. මෙය ලංකාවට ආගන්තුක තත්ත්වයක් වූ අතර ග්‍රාමීය තරුණියන් සීග්‍රයෙන් බස්නාහිර පළාතට සංක්‍රමණය වන්නට විය.


බහු ජාතික සමාගම්වලට ආයෝජන අවස්ථා සපයා දුන්නා මිස මෙහි රැකියා කරන්නට එන තරුණ තරුණියන් පිළිබඳ ව රජය සැලකිලිමත් වූ බවක් නොපෙනිණි. ඔවුන් නවාතැන් ගත්තේ, තාවකාලික කුලී නිවාසවල ය. රැකියාවක පිපාසයෙන් සිටි පාසලෙන් සමුගත්, අනුරාධපුර, පොළොන්නරු, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් පැමිණි තරුණියෝ කුකුළු කොටු බඳු කූඩාරම්වල කූඩු වූහ. තම යෞවනයේ සිහින සැබෑ කර ගැනීමට සේම කීයක් හෝඋපයා ගැනීම මොවුන්ගේ එක ම අභිලාෂය විය.


මේ තරුණියෝ කොළඹ, මීගමුව වැනි නාගරික පරිසරය, සංස්කෘතිය හඳුනාගෙන නොසිටියෝ ය. ඉරිදා දිනවල ලබන නිදහස මොවුන් භුක්ති වින්දේ ජීවිතය පිළිබඳ මන්ද බුද්ධික වූ යුවතියන් ලෙසිනි. මොවුහු කාමාතුරයන්ට ගොදුරු වූහ. රැවටිලිකාරයන්ට හසුවූහ. කටුනායක සංගීත සංදර්ශයන් අවසානයේ පිට්ටනි පුරා යටඇඳුම් හා උපත් පාලන කොපු විසිරී පැවතිණි. නරක නාමය ලැබුවෝ මේ තරුණියෝමයි. 

ගාමන්ට් කෙල්ලන් විවාහ කර නොගත යුතු බව ඔවුන් විනාශ කළ ඇත්තෝ ම ප්‍රචාරය කළහ. මාලයක් වළල්ලක් හදා ගැනීමට සොච්චමක් සොයා ගැනීමට කොළඹ පැමිණ, අඩු පඩියට ශ්‍රමය විකුණූ මේ තරුණියෝ මෙබඳු අභාග්‍යකට උරුමකම් කීවෝය. (වර්තමානයේ තත්වය එදාට වඩා යහපත් බව මෙහිදී සිහි කරමි.) 


එහෙත් මේ අභාග්‍යය ඉතා සියුම් ලෙස ස්පර්ශ කිරීමට එකල නිර්මාණකරුවෝ අසමත් වූහ.
බන්දුල අතින් මෙබඳු නිර්මාණයක් බිහිවන්නේ එබඳු අවාසනාවන්ත පරිසරයක ය. මෙහි විශේෂත්වය වන්නේ බොහෝ විරෝධාකල්ප නිර්මාණ වලදී මෙන් ආවේගශීලී නොවී සංයමයෙන් තම නිර්මාණය ඉදිරිපත් කිරීමයි.


"රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරළි වැටෙනා සඳ අලුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට.."


උදෑසන වූ කලී දහසක් බුදුන් බුදුවෙන සුවහසක් මල් පූදින යාමයකි. එහෙත් රෑ වැඩ මුරය නිම කළ මේ කැලෑමල් කම්හලේ යකඩ ගේට්ටුවෙන් එළියට එන්නේ පර මල් ලෙසිනි. මුළුලෝකයට ම ඉර පායද්දී ඔවුන්ගේ ලොවට රෑ වෙයි.


රෑ එළිවන තුරු ශ්‍රමය කැපකළ ද මේ තරුණියන් ගේ ලෝකයට අරුණලු උදා නොවන බව මේ තුළින් ධ්වනිතවේ.


ශ්‍රමය රන් ආකාරයකි. ජීවත්වීමට ශ්‍රමය කැපකළ යුතුය. මාතෘ භූමියට ජාතික ධනය ගෙන ඒමට ශ්‍රමය පූජා කළ යුතුය. ඒත් එකල මේ තරුණියන්ට සිදු වූයේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා භුක්ති විඳීමට නොහැකිව සොච්චම් වැටුපකට තම තාරුණ්‍යය අලෙවි කිරීමටයි. රචකයා, මේ යෞවනියන් ගේ ඛේදවාචකය දෙස තම සානුකම්පිත ඇස යොමු කරයි.


"තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ.."


"දෑඟිලි නිදිවරන්නේ" යන යෙදුම වූ කලී අපූර්ව කාව්‍යෝක්තියකි. මැෂිම ළඟ නිදිමරන හුරුබුහුටි ඇඟිලි තුඩු වල උරුමක්කාරියන් ගේ ග්‍රාමීය සුන්දරත්වය විදුලි බල්බවල ප්ලෝරසන් ආලෝකය විසින් දවා හළු කරනු ලබයි. මල් වයස අකාලයේ දියවී යද්දී මැෂිමටත් වඩා හයියෙන් හිත හඬා වැටෙයි. හඬා වැටෙන්නේ මැෂිමද? නැතිනම් හිතද? යනුවෙන් නැගෙන ප්‍රශ්නය රසිකයා කම්පනය කරවන්නකි.




මේ යෞවනියන් ගේ සිහින මොනවාද? චේන්පොටක්, වළල්ලක්, කරාබු කුට්ටමක් කෙසේ හෝ මිලට ගැනීම, නංගිට මල්ලිට අධ්‍යාපනය දීම, වරිච්චි බිත්ති ගඩොලින් බැඳ ගැනීම, ලෙඩින් සිටින මවට, පියාට බෙහෙත් කිරීම, බැංකු පොතේ කීයක්වත් ඉතිරි කර ගැනීම මොවුන් ගේ සිහින අතර මුල් තැනක් ගනී.


ජීවත් වීමට නම් මොවුන් වැඩ කළ යුතු ය. ඒ ගැන වාදයක් නොමැති ය. එහෙත් එකල ඔවුන් වැඩ කළේ වර්තමානයේ තරම්වත් යටිතල පහසුකමක් නැති කර්මාන්ත ශාලාවලයි. වැඩ ඇරෙන මොහොතේ පැක්ටරියේ ගේට්ටුව ළඟ මනමාල බමරු සැරිසරති.


බස් රථයකවත් නිදහසේ යා නොහැකි ය. මොවුහු නොදැනුවත්කම නිසාම විවිධ කාමාතුරයන්ට ගොදුරු වෙති. මහමඟ තනි ව යා නොහැකි ය. එකල කටුනායක නිදහස් වෙළඳ කලාපය කඳුළු කලාපයක් ම විය.


"නුඹෙ කඳුළැලි ද සයුරේ රැළි නඟන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ.."
   

සාගරය පිරෙන්නට කඳුළු මේ යුවතියන් ගේ හදවත් තුළ පවතී. ඔවුන්ගේ සුසුමෙන් කුණාටුවක් නිර්මාණය විය හැකිය. නන්නාඳුනන නගරයේ මොවුන්ගෙ තනි නොතනියට සිටිනුයේ හෙවණැල්ල පමණකි. ඔවුන් මේ දුක් විඳින්නේ ඇඳුම මැසීමට නොව ජීවිතයේ ඉරුණු තැන් මසා ගැනීමටයි.




කලාකරුවකු ගේ සංවේදී බවෙහි උපරිමය මේ නිර්මාණය තුළ දක්නට හැකි ය. තමා ජීවත්වන සමාජ ආර්ථික දේශපාලන පරිසරයෙන් මතුකරන සමාජ ගැටලු රචකයා මනා ලෙස සංස්පර්ශ කරයි.


මේ නිර්මාණයේ සංගීතය හා ගායනය රචකයා ගේ අදහස් වඩාත් අර්ථවත් කිරීමට සමත් වී තිබේ. රෝහණ වීරසිංහයන් හවායින් ගිටාරය තුළින් මවන ස්වර රටා ඔස්සේ මේ ස්ත්‍රීන්ගේ හදවතෙන් නැඟෙන විලාපය ප්‍රතිරාව නැංවීමට සමත් වී තිබේ. එසේම ජනකවි තුළ එන වැලපුම් ගායනාහි හමුවන ස්වර රටා ගීතය පුරා ම දක්නට හැකි ය. 

පැරණි ජනකවියක් මේ මොහොතේ මට සිහිවෙයි.

"ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොරදියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට"


ජනශ්‍රැතියෙන් පෝෂිතව ජන නාද රටා බටහිර සංගීතය සමඟ සම්මිශ්‍රණය කොට තම සංගීතමය ප්‍රතිහාර්යය රෝහණ වීරසිංහයෝ මුළු නිර්මාණය පුරාම පතුරවති. සුනිල් එදිරිසිංහයෝ තම හඬ ඔස්සේ රසික හදවත් සසල කරවති.


ශ්‍රම සූරා කෑම එදා මෙන් ම අද ද අඩු වශයෙන් සමාජයේ පවතී. රටකට අවශ්ය වන්නේ ශ්‍රම අභිමානයයි. එසේ අභිමානවත් ලෙස ශ්‍රමය කැප කිරීමට හැකි රටක් බිහිවෙතොත් මේ ගීය අමතක කළ හැකිය. එහෙත් විඩාබර මුහුණින් සුසුම් හෙළමින් රෑ වැඩ මුරය පමණක් නොව දවල් වැඩමුරය නිමකර පැමිණෙන යුවතියක දකින වාරයක් පාසා මේ ගීය නින්නාද වනු වැළකිය නොහැකි ය.




(Re Weda Muraya - Sunil Edirisinghe)









***************************************************************************


ධම්මික බංඩාරයන් විසින් විචාරය කරනලද අද මවිසින් ඔබවෙත ගෙන ආ මේ ගීතය තුල කලින් විචාරවල මෙන්, විවිධාකාරවූ ඉසවු වලට අපගේ සිතිවිලි මෙහෙයවිය හැකි විවිධාකාර වූ අරුත් නොමැතිමුත්, ගීතයේ මතුපිටින් සරලව ගලායන තේමාව තුල අපට කතාකල හැකි, කතාකල යුතු ගැඹුරු සමාජ සංස්කෘතික කාරණාවන් රාශියක් ගැබ්ව පවතින අපූර්වතම ගීතයක් ලෙස හඳුනාගත හැකිය.

ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භවූ මුල් වකවානුවේ තිබූ අතිශය දුක්කඃදායි තත්වය අද නොමැති නමුත්, අදටත් "ගාමන්ට් කෙල්ලන්" සමාජය තුල අවලංගු කාසි ලෙස සැලකුම් ලබයි. නමුත්, අද මෙම තත්වයට වගකිව යුත්තේ එම ඇඟලුම් කම්හල්වත්, පවතින පාලනයවත් නොව, මෙම සේවිකාවන්මය. මක් නිසාදයත්, එම තත්වයට ඔවුන් පත්වීමට අවැසි පාර ඔවුන්ම කපාගෙන ඇති හෙයිනි. නමුදු, මෙහි මූලිකම වරද ඇත්තේ ඔවුන් තුල නොව ඔවුන් එම තත්වයට පත්වීමට මං සැලසූ එදා අතීතයේ පැවති අවිදිමත්, නොදියුණු විවෘත් ආර්ථික සංකල්පය තුලින් බිහි වූ සමාජ සංස්කෘතියයි.

මෙම ඇඟලුම් කම්හල් තුල ඒ තුලම ගොඩනැඟුනු උප සංස්කෘතියක් පවතින අතර, එහි ඉන්නවුන් ඒ තුලට අනුගත්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. ඒසේ නොවී, තම අනන්‍යතාව රැකගනිමින් රැකියාව පමණක් කරගෙන "පාඩුවේ" ඉන්න පිරිස් සිටිනුයේ ඉතාම අතලොස්සකි. ගාමන්ට් එකක්"(ගාමන්ට් එකක් යනු මෙම සංස්කෘතිය තුල එක් ඇඟලුමක් හැඳින්වීමට සුලබව භාවිතා වන වචනයකි. එනිසා මින් ඉදිරියට එය ෆැක්ට්‍රිය ලෙස හඳුන්වමි.) තුලට ආපසු සිදුවන මුල්ම දෙයනම් ලැජ්ජ බය නැතිවීමය. 

මේවා තුල අම්මලා,තාත්තලා, නැන්දලා, මාමලා නොමැති අතර සිටිනුයේ අක්කලා,අයියලා,නංගිලා හා මල්ලිලා පමණි. තව සර්ලා සහ මැඩම්ලා, මිස්ලා සිටිති. වයස කුමක් වුවද, අවුරුදු 55ක් වුවද මෙම උප සංස්කෘතිය තුල ඔහු හෝ ඇය, අක්කා හෝ අයියාය. අවුරුදු18ක අයෙකු වුවත් ඔහු අමතන්නේ මෙමෙ සහෝදරාත්මක වදනින්ය. මේ නිසා මේ තුල ගෞරවය, ලැජ්ජාව, බය නොමැත. ආ අලුතම තිබෙන සියලුම කුණුහරුප ටික හිරිකිතක් නැතිව භාවිතා කිරීමට ස්ත්‍රී පාර්ශවය හුරුවන අතර පුරුෂයන් එහි ගුරුවරුය. යහපත් කාන්තාවන් ඉන් නවතින නමුදු බොහෝ අය ඉන් නොනැවතී ඒවා කිරීමට පටන්ගනී. සිටින සියලු දෙනාට මේවා සුලු දේවල් වන අතර මෙය එදිනෙදා කන බො එක තරමට සාමාන්‍යකරනිය වීමට ගතවන්නේ සුලු කාලයකි.

මේ කීවෙ උදාහරණයක් පමණි. මේ කොටන්නේද "ගාමන්ට් එකක්" තුල සිට බැවින් මෙහි උපසංස්කෘතිය පිළිබඳ මා හටද මනා අවබෝධයක් පවතී. මේ ගැන කීමට සහ කතාකිරීමට අප්‍රමාණ කරුණු ඇතිමුත්, මේ ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොවන හෙයින් මේ පිළිබඳ මින් නවතිමි.

ගීතය දෙසට නැවත අවදානය යොමු කරන විට විචාරය තුල සඳහන් වන ආකාරයටම අතිසංවේදී මෙම නිර්මාණය සවන් වැකෙන හැම මොහොතකම අසරණ අහිංසක අපේම සොයුරු සොයුරියන් ගැන මහත්වූ කම්පාවක් ඔබ තුලත් මා තුලත් ඇතිවීම වළකාලනු නොහැකිය. දිනපතාම උදේ හවා හැම නිතරම මගේ දෑසට හසුවන මෙම සංවේගී දර්ශණය මා කම්පා කිරීමට නිතර සමත්වුවද, ඒ හා සමඟම එම හැඟීම් මැකීයන්නේ ඔවුන්ගේ ඇතුලාන්තය පිළිබඳ මා සිත් තුල පවතින කලකිරීම හේතුවෙනි.

වර්ථමාන තරඟකාරීත්වය සමඟ ඇඟලුම් සමාගම්ද, වැඩක් කරගන්නා එකාට විශ්ව විද්‍යාල  බවට පත්ව ඇති අතර එහිම අනෙක් පසද නිර්මාණය වී ඇත. ඒ සමඟම පවතින හා පැවතුන අදූරදර්ශී පාලනයන් නිසා ලංකාවෙ කාබාසිනියාකරන ලද අද්‍යාපන ක්‍රමයේ ප්‍රතිපලයක් ලෙස බිහිවන දහස් සංඛ්‍යාත රැකියා විරහිතයන් හට මෙම ඇඟලුම් කම්හල් කතරට ක්ෂේම භූමියක් බවට පත්ව තිබීමද මෙම සමාජ පරිහානිය තුල සැඟව ඇති වාසනාවකි. ආශිර්වාදයකි. එසේ නොමැතිවිනි නම් මෙම සමාජය මීටත් වඩා දූෂිත වන්නේ විරැකියාව තුලින් බිහිවන සමාජ විරෝධීන් අතිනි.

කෙසේ වුවද ගීතය තුලින් කි‍යවෙන සමාජ පරිහානිය, ඒ ශෝකාන්තය මෙම සමාජ ක්‍රමය පවතින තුරුම කුණුවෙමින් ඕජස් ගලමින් පවතිනු ඇත. වරද ඇත්තේ මේ අහිංසකාවියන් තුල නොව ඔවුන්ට මෙතනට ඇද දැමූ දූෂිත සමාජ, දේශපාලනික සහ ආර්ථික ක්‍රමවේදය තුලයි. එහි තර්කයක් නොමැත.

(පෝස්ට්ටුව තුල අඩංගු සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි)





Monday, April 21, 2014

•මං මුලාවී පාර සොයාගෙන

"අප හමුවූයේ මන්දැයි නොදනිමි..."



ගුණදාස කපුගේ මිය ගියා. කලාකරුවන් මැරෙන්නෙ නෑ. ඒත් කපුගේ මිය ගියා. ඇයි කපුගේ මැරුණෙ?

"සියලු මිනිසුන් මැරෙන සුලු ය
කපුගේ ද මිනිසෙකි.
ඒ නිසා කපුගේ ද මැරන සුලුය."

ඒ ඇරිස්ටෝටල්ගේ තර්ක ශාස්ත්‍රයයි. කලාකරුවන් මිය නොයන්නේ ඔවුන් නොමැරෙන නිර්මාණ ඉතිරි කර යන නිසා ය. කපුගේ ද බොහෝ නිර්මාණ ඉතිරිකර ගියේ ය. එහෙත් කපුගේ මිය ගියේ ය.



නවසිය අනූව වසරේ එක් දිනක මා ලුම්බිණි රඟහලට ගියේ කපුගේ ගේ "කම්පන" ප්‍රසංගය බලන්නට ය. ශාලාව පිරුණු විගස දොරවල් වැසිණි. ඇතුළත සිටි පිරිසට වඩා පිරිසක් සිටියේ ශාලාවෙන් පිටත ය. ප්‍රසංගය ඇරැඹෙත් ම ඇතැම්හු දොරවල් කඩාගෙන ඇතුළට ආහ. ඒ එදා කපුගේට ලැබුණු එක් ප්‍රේක්ෂක ප්‍රතිචාරයකි. (මෙබඳු අවස්ථා තවත් සිහිපත් කළ හැකිය)

කපුගේ පසු කාලයේ දී ඔහු ගේ ගීතවලින් අඩක් ම සන්ෆලවර් සංගීත කණ්ඩායම සමඟ ගායනා කළේ ය. ඒ ගීතවල මුල් රසය එහි නොතිබිණි. ඒ සංගීත කණ්ඩායමේ වරදට වඩා කපුගේ ගේ වරද ය. කායික ව දුර්වල ව සිටි ඔහුගේ ශ්‍රැතිය නිවැරැදි තැන නොපිහිටියේ ය. එහෙත් කපුගේට නොසිටි රසික පිරිසක් ද ඒ ගීත ඔස්සේ ගොඩනැඟිණි.

අද ඔබ කැමති ගුවන්විදුලි නාළිකාවකට දවස පුරා සවන් දෙන්න. ඔබ කැමති රූපවාහිනී නාළිකාවක් දෙස දවස පුරා බලන් ඉන්න. ස්ටාර් තෝරන තරඟ බලන්න. කපුගේ ගැයු ගීයක් අසන්නට ලැබෙන්නේ නැත. ලැබේ නම් ඉතා කලාතුරකිනි. එසේ නම් කපුගේ දෙවන වරට මරා දමා ඇත්තේ මේ ජනමාධ්‍යයි. (ඉඳහිට ගීයක් ප්‍රචාරය කරන ජනමාධ්‍යය මේ ගැන කමත්වා..)

කපුගේ සතු අවසාන රසික පරපුර දැන් මැදිවියට පිවිසෙමින් සිටී. ඉන්පසු පරපුරට මේ ගීත විඳගන්නට මනැසක් නොතිබිණි ද? 

දෑස නිලුපුල් තෙමා, ඔහුගේ අමරණීය ගීත අතරින් අතළොස්සකි. 

මේ ගීත අනාගත පරපුරට නොගැළපෙන්නේ ද? එසේ නැතිනම් අප සියලු දෙනා මංමුළා වූ සමනලුන්, සමනලයන් ද?

මේ ගීතයේ දී අපට මුණ ගැසෙන්නේ ජීවිතයේ බොහෝ පරාජයන් ලද පුද්ගලයෙකි. ඔහු ජීවිතය තුළ දිග්විජය ලබන්නට උත්සාහ කරන්නේ ආදරය ඔස්සේ ය.

"පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි.."
(මහගමසේකර)



එහෙත් මේ පෙම්වතාට ඇය ද අඳුරු අහසක් මැයි. ඔහුට සවියක් වනු තබා ඇයට ද සවියක් නොමැත. ඇගේ ජීවිතය ද මුල් ඉදිරී ගිය ගසකි. ඔහු මංමුළා වූ සමනලයකු නම් ඇය වචනයේ පරිසමාර්ථයෙන් ම මං මුළා වූ සමනලියකි. සමනලියක් යනු බරක් පතළක් නොදැක සැහැල්ලුවෙන් පාවෙන්නියකි. ඒ නිසාම ඇය මඳ සුළඟට වුවද ගසාගෙන යයි.



සමාජයේ බොහෝ විට මුණ ගැසෙන්නේ එබඳු සමනලියන් ය. සමනලුන් ය. ඔවුන්ට පැමිණි මාවතක් හෝ යන මාවතක් නොමැත. එම නිසාම ඔවුනට සහජීවනයක් නොමැත.

"ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙළෙස ද මා හට
ඇයට ද පාරක් ඇති නැති ගානය.."

ප්‍රේරම සබඳතා කෙස් ගානට හට ගනී. අං ගානට ඉතිරි වෙයි. එකකු ගේ අසාර්ථක බව දරාගෙන ඉදිරි ගමනක් යාමට තරම් අනෙකා සාර්ථක මිනිසකු වන්නේ කලාතුරකිනි. ඒ නිසා ඔවුන්ට අවසානයේ උරුම වන්නේ වෙන්වීමයි.

"අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමන ද අද මෙතනින් නිමි.."

මේ ආකාරයෙන් නිමාවට පත්වන ප්‍රේමකතා සමාජයේ බහුල ය. මෙහි අවසානයට මා පෞද්ගලික ව අකමැති ය. මංමුළා වූවන්ට වුවද අවශ්‍ය නම් පාර සොයාගත හැකිය. එවැනි ධනාත්මක අදහසකින් ගීතය අවසන් වීනම් එයට මම වඩාත් ප්‍රිය කරමි.

"යා යුතු මාවත සොයන්න හැකිනම්
අප විඳි දුක් ගින්දර මෙතනින් නිමි.."

ඒ මගේ පෞද්ගලික අදහසක් පමණයි. කෙසේ වෙතත් ආදරය ඉදිරියේ, අතරමං වන ඕනෑ ම පුද්ගලයකුට මේ ගීයෙන් අපූරු ශෝක රසයක් අත්විඳිය හැකිය.

ගීතය කතාන්දරයක් නොවේ. එය හැඟීම් මාත්‍රයක් පමණි. ඒ තුළ විවිධාකාර වූ දුක් සුසුම් ගැබ් ව පවතී. මේ රචකයා එවැනි සියුම් ස්ථාන මනා ව ස්පර්ශ කරයි.

මෙවැනි සියුම් සංවේදනා ගායනා කිරීමට කපුගේ සතුව පාළු ශෝකි හඬක් පැවතුණි. ඒ හඬ සීත කඳුවැටි තුරු වදුලු ගංගා සොහොන් පිටි පසුකර ගෙන පැමිණ හදවතේ ගැඹුරු තැනට කාවදී. 

ඔහුගේ පැරැණි ගායනා (සන්ෆ්ලවර් තැටිය නොවේ) නැවත සවන් දෙන විට මේ සංවේදනා උපරීමයෙන් අත්විඳිය හැකි ය. 

රූපවාහිනියට කපුගේ සතු වූ රූපය අඳුරු වැඩිනම් ගුවන්විදුලි නාලිකා හෝ ඔහුගේ මුල් හඬට ජීවය දිය යුතුය. ඔහු දෙවන වරටත් මිය ගොස් තිබේ. එහෙත් ඔහුට යළි පුනරාගමනය කළ හැකිය.




(Man Mulawee - Gunadasa Kapuge)









***************************************************************************


ගෙවුන සුබ අලුත් අවුරුද්දෙන් පස්සෙ අරන් ආපු පළමු පෝස්ට්ටුව. ඉතින් නිතරම වගේ මේ ගීත විචාරයත් හොයාගත්තෙ ධම්මික බංඩාර මහත්මයාගෙ ගීත විචාර ගොන්නෙන්. මගේ ප්‍රියතම ගායකයාණන් ගේ තවත් ප්‍රියතම ගීතයක් තමයි මේ.

කට්ටිය සයිබර් බක්මහ උළෙලට ගිහින් ඇවිත් තාම නිදිද මංද ඇඟේ අමාරුවට. හිතුව වගේම එන්නනම් බැරිවුනා. ඉතින් මේ කෙළ පෙරාගෙන දැන් බලාගෙන ඉන්නෙ කවුරුහරි බක්මහ උළෙල ගැන, සියලු විස්තර හා ඡායාරූප සමඟින් පෝස්ටුවක් දානකල්.

අවුරුද්ද ගැන කියනවනම්, වෙනද වගේම සාමාන්‍යපරිදි ගෙවී ගියා. නෑ හිතවත්කම් අලුත් වුනා. හැමදේම ඉතින් සුපුරුදු ලෙසම සිද්දවුනා. දැන් නැවතත් කාපු තෙල බහිනකල් වැඩ. කෙළවරක් නැති වැඩ. නිවාඩුව ඉවරයි, ඔන්න ආයෙත් සැබෑ ලෝකෙට වැටුන.

කොහොමවුනත් වැඩට එන එකත් හොඳයි, මගේ බ්ලොග් ජීවිතයේ යහපැවැත්මට. මොක්ද පහුගිය දවස්වල 99 කාර්ඩ් එකට වහල් වෙලා ගතවුන සයිබර් ජීවිතය වැඩක්ම නෑ.

හිතට දැනෙන්න කිසිම බ්ලොගක්, පෝස්ට් එකක් කියවන්න ලැබුනෙ නෑ. කරපු වැඩකුත් නෑ, දැනුන දෙයකුත් නෑ එහෙ බලල මෙහෙ බලනකොට පැකේජ් එක ඉවරයි. ඒත් ඉතින්, අනේ වාසනාවන් දැන් නම් එහෙම නෑ. අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්. අද ඉඳල නැවතත් අතපය හොඳට දිගෑරල බ්ලොග් යතහැකියි.

එහෙනම්, සියලුමදෙනා සාදරයෙන් පිළිගන්නවා නැවතත්!


Monday, April 14, 2014

•තොටුපළ අයිනේ


"කවුද අතවනන්නේ... තොටුපළ අයිනේ..."





මගේ සිතුවිලි හැත්තෑව දශකයේ මුල් භාගයට දිවයයි. මම එකල කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ නේවාසික ශිෂ්‍යයෙක්මි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට අමතරව තවත් පස්මහල් ගොඩනැඟිල්ලක් ඉදිවෙමින් පැවතිණි. එකල මෙහි පස්වනමහල දිග ශාලාවකි.

"අන්න වික්ටර් රත්නායක ඇවිල්ලා.. අලුත් තට්ටු පහේ උඩ සින්දු කියනවා..."

හවස 2.30 ට පමණ නේවාසික ශිෂ්‍යයෙක් කෑ ගසා කීවේ ය. එතුමන්ගේ ගීත රාශියක් අසා නොතිබුණ ද, හුරුපුරුදු නමක් බැවින් අපි කීපදෙනක් අස්පවේගයෙන් දිව ගියෙමු. එකිනෙකා තරගයට තට්ටුවෙන් තට්ටුව පඩිපෙළ දිගේ දිව ගිය ආකාරය මට තාමත් මතකයි. අප පාසලේ හත්වන ශ්‍රේණියේ සිසුවෝ වීමු. 

වැඩිහිටි ශිෂ්‍යයන් ගේ කලා සංගමයක් විසින් ඇරයුම් ලද වික්ටර් රත්නායකයන් පුටුවක වාඩිවී සර්පිනාවක් ළඟ තබාගෙන මයික්‍රොෆෝනයක් ඉදිරියේ වාඩිවී සිටින අයුරු මම දුටුවෙමි.

එකල රූපවාහිනිය නොතිබූ බැවින් මේ රූපකාය දෙස මා බලා සිටියේ විස්මයෙනි. සුදු අත්දිග ලෝගුවක් ඇඳ කරතෙක් කොණ්ඩය වවා සිටි තාරුණ්‍යයත් මැදිවියත් අතර අපූරු පුද්ගලයකු දේශනයක් පවත්වමින් ගයන්නට පටන් ගත්තේ ය.


"හබල බිඳිලා...
පෙරළුණු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ..."


ඔහු 'හබල බිඳීලා...' යන කොටස පාරුකවියක් මෙන් ඇද පැද ගයද්දී මුළු ශාලාව ම මීයට පිම්බාක් මෙනි. ගයා හමාර වූ පසු සිසුන්ගෙන් නැඟුණේ කන් බිහිරි කරවන අත්පොළසන් නාදයකි.

එදා සිට මම වික්ටර් රත්නායකයන් ගේ ගීත ගැන වඩාත් උනන්දු වීමි. "ස" ප්‍රසංගය කීපවරක් ම පොරකකා නැරඹුවෙමි. සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ ආදී පද රචකයන්ගේ නම් මගේ හිතට කාවදින්නේ මේ ගීත අසන්නට පෙලඹීමත් සමඟිනි. මේ අතර හැත්තෑව දශකයේ දී, උගත්, නූගත්, බාල මහලු කා අතරත් ජනප්‍රිය වූ අපූර්ව නිර්මාණයක් ලෙස මේ ගීතය හඳුන්වා දිය හැකිය.


"තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ...
කවුද අත වනන්නේ...
තොටුපළ අයිනේ.."


පද මාලාවෙන් ප්‍රථමයෙන් මැවෙනුයේ චිත්ත රූපයකි. ගඟක්, තොටුපළක් මෙන්ම තොටුපළ ළඟ සිට අතවනන අඳුරු ඡායාවක් ඒ චිත්ත රූපයෙහි අන්තර්ගත ය. ඒ චිත්තරූපය තවදුරටත් විකාශනය වන්නේ දෙවන පද පෙළ සමඟයි. මෙය සැඳැ කළුවර ගලා එන හෝරාවකි. වැටකේ ඉවුරක උණපඳුරු හෙවණක දක්නට හැක්කේ කුමක් ද? ඒ හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවකි. රචකයා මේ ඔස්සේ ධ්වනිථාර්ථ රාශියක් මවනු ලබයි.


"හැන්දෑ වරුවේ
ඉවුරේ වැටකේ
උණ පඳුරේ සෙවණේ..
හබල බිඳීලා.. පෙරළුණ ඔරුවක
සුන්බුන් නෙත දැවටේ..."




මෙහි කථකයා ජීවිතයේ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දුන් පුද්ගලයකු බව මේ ඔස්සේ පැහැදිලි වෙයි. ඔහු ප්‍රේමවන්තයකු නම්, ප්‍රේමයෙන් පරාජිත පුද්ගලයකු බව මේ මඟින් හැඟී යයි. එහෙත් ඒ අඳුරු අතීතය මෙනෙහි කරමින් ඒ මත වේදනා විඳීමට ඔහු සූදානම් නොමැති බව මෙහිදී පැහැදිලි වෙයි.


"ඒ දෙස නොබලමි
තොටුපළ අයිනේ
කවුද අතවනන්නේ..."





එසේ නම් ඔහුට අතවනන්නේ කවුරුන් ද? අලුත් ආදරයක් ද? එය එසේම බව මීළඟ පද පෙළින් මනාව පැහැදිලිවේ. ඔහු පෙරමඟ එගොඩින් දක්වන්නේ කුමක්ද? ඇවිළෙන තරු යුවළකි. එය කාන්තාවකගේ දෑසක් විය නොහැකි ද? ඒ තරු යුවළ දිලිසෙද්දී ඔරු කඳමත පැතිරී යන්නේ නුපුරුදු සුවඳකි. එය ආදරයේ ම සුවඳ මිස වෙන කුමක් ද?


"ආ මඟ අඳුරේ පෙර මග එගොඩින්
තරු යුවළක් ඇවිලේ
ඔරුකඳ ඇතුළේ නුපුරුදු සුවඳක්
දියමංකඩ විසිරේ..."


ඒ සුවඳට පිටුපාන්නට ඔහුට නොහැකිය. ඔහුගේ අනාගත ජීවිතයේ සුබ ප්‍රාර්ථනා සියල්ල ඒ සුවඳ මත රැඳී පවතී. ඒ නිසා ඔහු හෙට දවසේ හඬන්නට නොව සිනාසෙන්නට සැරසෙයි.


"හෙට ම හිනැහෙමී
තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ..."


ජීවිත තොටුපළේ ආදරයෙන් පරාජිත වූවකු නැවත දිග්විජය ලැබීමක් සමස්ත නිර්මාණය පුරා දක්නට හැකිය.

මේ නිර්මාණයේ අරුත් මීට වඩා පුළුල් පරාසයක වුවද රසවිඳීමේ හැකියාව රසිකයා සතුව පවතී. 

මේ තොටුපළ සංසාර තොටුපළ නම් කථකයා විසින් එගොඩ යා නොහැකි පෘථග්ජනයෙකි. ඔහුගේ හබල බිඳී ඔරුකඳ පෙරළී ඇත. එහෙත් එගොඩ ගොඩින් ඔහු දකින්නේ දැල්වෙන ආලෝකයකි. ඒ නිර්මල ආගමික දර්ශනයකි. ඒ මඟින් හෙට දවසේ දිග්විජය ලද හැකිය. මේ නිසාම "තොටුපළ අයිනේ" නැමැති පද මාලාව පුළුල් පරාසයක විහිදී යයි.

වික්ටර් රත්නායකයන් මේ පදමාලාව තුළ අපූර්ව දේශීය සංගීතමය අත්හදා බැලීමක නිරතවෙයි. බෙංගාලි පාරු ගී මෙන් ම සිංහල ජන ගී සම්ප්‍රදාය ඇසුරු කරමින් ගිටාරය, බටනළාව, ජලතරංග ආදී සංගීත භාණ්ඩ යොදා ගනිමින් අපූර්ව සංගීත රිද්මයක් නිර්මාණයට එක්කර තිබේ.

මම දෑස පියා ගනිමි. ගංගාව ගලා යනු මට ඇසෙයි. මා අසල ඇත්තේ බිඳුණු හබලක් හා පෙරළුණු ඔරුවකි. එහෙත් මම බලාපොරොත්තු අත් නොහරිමි. 

මක්නිසාද නුපුරුදු සුවඳක් සමඟ තරු යුවළක් ඈත අහසේ දිලිසෙන බැවිනි.





තොටුපළ අයිනේ...
කවුද අත වනන්නේ..
කවුද අතවනන්නේ
තොටුපළ අයිනේ..

හැන්ඳෑ වරුවේ
ඉවුරේ වැටකේ 
උණ පඳුරේ සෙවණේ..
හබල බිඳීලා... පෙරළුණු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ..

ඒ දෙස නොබලමි...

තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ..
ආ මඟ අඳුරේ
පෙර මඟ එගොඩින්
තරු යුවළක් ඇවිලේ..

ඔරුකඳ ඇතුළේ.. නුපුරුදු සුවඳක්
දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
තොටු පළ අයිනේ
කවුද අත වනන්නේ..

ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


(Thotupola Aine - Victor Rathnayake)






***************************************************************************


දයාබර බ්ලොග් මිතුරු, මිතුරියනි, විවිධාකාර අරුත් සහිත ඉසවු සොයායන තවත් අපූර්වතම ගීතයක් ලෙස මෙම ගීතයද අපිට ආසාවෙන් වැළඳගත හැකි ගීතයකි. ඉහත විචාරය තුලින් දක්වා ඇති පරිදි, ගීතය මතුපිටින් දකින්නට ඇති රූපමය සිත්තම සේම, එහි සැඟව ඇති, ප්‍රේමයෙන් පරාජිත වී නව ඇරඹුමක් කරා පියමැනීමට සූදානම් වන මිනිසෙකුගේ කතාවත්, ඊට සහමුලින්ම බැහැරව නිර්වාණය පිළිබඳ කියවෙන වඩා ගැඹුරු අර්ථයත් යන මේ සියලු විචාරණ වලට අමතරව ඔබ සතුවත් මීට හාත්පසින්ම වෙනස් විවිධාකාර වූ නිර්මාණශීලි විචාර මේ ගීතය සඳහා පවතින බව මා හොඳාකාරවම දනිමි.

ඉතින් එන්න. කියවන්න. රසවිඳින්න. ඔබේ අදහස, විචාරය, විවේචනය කමෙන්ට් විදියට මාත් එක්ක බෙදාගන්න.

ඒත් එක්කම උදාවූ මේ නැවුම් නව වසර, සිංහල අපේ හැබෑම අවුරුදු උදාව, ආදරණීය බ්ලොග් මිතුරු මිතුරියන්ට සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

ගීතයේ එක් අරුතක කියවෙන පරිදි ජීවිත මංතලාවෙ කොතනක හෝ වැරදීමක්, පරාජයක්, පසුබෑමක් හිමිවූ අපේම කොල්ලෙක්ට කෙල්ලෙක්ට මේ සුබ අවුරුද්ද, නව උදාවක, ආදරයක, ජීවිතයක, ඇරඹුම සනිටුහන් වන සොඳුරු තොටුපලක් වේවා...!

ඒවගේම මේ මස 20වන දිනට පැලවත්ත බුද්ධදාස පිටියේදී පැවැත්වීමට නියමිත, සයිබර් අවකාශයේ සහෘදයන්ගේ ලෙංගතු හමුව, අවුරුදු උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි මම හදවතින්ම ප්‍රාර්ථනාකරමි. පැමිණ සහභාගීවීමට තරම් වාසනාව නොමැතිමුත්, ඔබ සැමට සුභාසිරි ගෙන ඒමට මම මෙය අවස්ථාවක් කරගන්නෙමි.

ඒවගේම සහභාගීවීමට නොහැකිවූ අඩුව පුරවාගැනීමට සයිබර් බක්මහ උළෙලේ සියලු අවස්ථා ඇතුලත් ඡායාරූප පෙලක් අපට ගෙන එතැයි අපි මඟ බලා සිටින්නෙමු. ආයාචනය කරන්නෙමු. ෆේස්බුක් වල නොදා, පෝස්ට් වලින්ම අරන් එන්න පුළුවන්නම් හොඳයි.


එහෙනම්, ඔන්න ආයෙමත්,

"සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.....!"